Thursday, August 3, 2017

තනි පුද්ගල මට්ටමෙන් කසළ කළමනාකරණය සඳහා ඔබත් 10 R සංකල්පයට හුරුවන්න



ජුනි මාසයේ හරිත ක්‍රියකරකම්



ස්ප්‍රින්ග් ෆිල්ඩ් ජාත්‍යන්තර පාසල

ස්ප්‍රින්ග් ෆිල්ඩ් ජාත්‍යන්තර පාසලෙන් ECO-V ආයතනයට කරන ලද ආරාධනවක් මත නිකසල ජීවිතයක් උදෙසා 10R සංකල්පය පිලිබඳ උදැසන රස්වීමේ දී දේශනයක් පවත්වන ලදී. ගුරු සිසු දෙපාර්ශවයම මහත් උද්යෝගයකින් සහභාගී වූ අතර කසළ කලමනාකරණය පිළිබඳ කුඩා දරුවන්ගේ උනන්දුව කදිමට විදහා දක්වන වැඩසටහනක් විය.





Future Minds අධ්‍යාපනික ප්‍රදර්ශනය 2017, කොළඹ හා මහනුවර


BMICH පරිශ්‍රයේ දී හා Kandy City Center පරිශ්‍රයේ දී පවත්වන ලද Future Minds අධ්‍යාපනික ප්‍රදර්ශනයට සහභාගී වීමට ECO-V කණ්ඩායමට ද අවස්ථාව ලැබුනු අතර එහිදි ECO-V අප හට ලැබුණු ප්‍රතිචාර ද අතිමහත්ය. අවබෝදාත්මක පාරිභෝජනය , තිරසර කසළ කළමනාකරණය හා පරිසරය සමඟ ජීවත් වන ආකාරය පිළිබඳව ජනතාව සමඟ දැනුම හා අත් දැකීම් බෙදා හදා ගැනීමට අපට හැකි විය. ප්‍රදේශ දෙකක පවත්වන ලද මෙම ප්‍රදර්ශනයේ දී පැහැදිලිව දැකගත හැකි ලක්ෂණයක් වුයේ තරුණ පරපුරේ ඇති උනන්දුව ප්‍රදේශය අනුව වෙනස් වීමයි. BMICH පරිශ්‍රයේ දී ජනතාව දැඩි උනන්දුවකින් දැනුම බෙදාගන්නා ලදී.


Sarangi - A Volunteer from Matara






MAS Athena - තුල්හිරිය

වසර ගණනාවක් පුරාවට MAS හෝල්ඩින්ග්ස් සමඟ සමීපව වැඩකරන අපට මෙම වසරේ දී ද තවත් දැනුවත් කිරීමේ වැඩසටහනකට අවස්ථාව උදාවිය. පාසල් 30 ක් නියෝජනය කරමින් ළමුන් 120 ක් පමණ මෙම වැඩසටහනට සහභාගී වූ අතර ලෝක පරසර දිනය අලලා මෙය සංවිධානය කරන ලද්දේ MAS Athena ආයතනයේ Eco Go Beyond කණ්ඩායම  විසිනි.











Prym Intimates - බියගම

MAS හෝල්ඩින්ග්ස්  අනුබද්දිත තවත් ආයතනයක් වන  Prym Intimates ආයතනය විසින් ඔවුන්ගේ හරිත දිනය වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩමුළුවේ දී කසළ කළමනාකරණය හා කසළවල ඇති පාරිසරික බලපෑම යන මතෘකාව යටතේ පැයක පමණ දේශනයක් පවත්වන ලදී. 








Tuesday, June 20, 2017

ජගත් පරිසර දිනය 2017 

ජගත් පරිසර දිනය සෑම වසරකම ජුනි මස පස් වන දිනට යෙදුනද පරිසර හිතකාමී ස්වේච්ඡා සංවිධානය ලෙස අපි මිහිමව වෙනුවෙන් ඇගේ ආරක්ෂාව වෙනුවෙන් නිරන්තරයෙන්ම කටයුතු කරන්නෙමු. නමුත් අප ලද ආරාධනාවකට අනුව පරිසර දිනය දා උදෑසන මාතලේ බලා පිටත් වූයේ මෙම දිනය වඩාත් අර්ථවත් ලෙස ගත කිරීමේ බලාපොරොත්තුවෙන්. මොකද ECO-V අපි හැමදාමත් කැමතියි හරිත චින්තනයක් ඇති පුද්ගලයින් සමාජයට වැඩි වැඩියෙන් බිහි කිරීමට. පෙ.ව. 9.00ට මාතලේ දිසාපති කාර්යාලයේදී ආරම්භ කරන ලද අවබෝධාත්මක පරිබෝජනය දැනුවත් කිරීමේ වැඩසටහට එහි සේවය කරන පිරිස මෙන්ම විවිධ කාර්යයන් සඳහා එම ස්ථානයට පැමිණෙන පීරිසද සහභාගී විය.  පරිසර හිතකාමී ලෙස තිරසර ජීවන රටාවකට හුරු වීමේ වැදගත්කම හඳුනාගත් මෙම පිරිසෙන් ඉතාමත් ධනාත්මක ප්‍රතිචාර ලැබීම ECO-V අපගේ සතුටට කරුණක් විය.








ශ්‍රී ලංකා රජය විසින් තිරසර ගම්මානය ලෙස නම් කරන ලද ඕවිලිකන්ද ගම්මානයේ ඕවිලිකන්ද මහා විද්‍යාලයේ ලෝක පරිසර දිනය වෙනුවෙන් සංවිධානය කරන ලද ශිෂ්‍ය කඳවුරෙහි කාන්චනා වීරකෝන් මහත්මිය විසින් දේශනයක් මෙදිනම පවත්වන ලදී. 
පසු දින එනම් හය වන දින මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලය විසින් පරිසර දිනය නිමිත්තෙන් වැඩවටහනක් සංවිධානය කරන ලදී. එහිදී වරුණි, ලක්මිණි සහ චාපා විසින් අවබෝධාත්මක පරිබෝජනය ප්‍රදර්ශනය සිදු කරන අතර කාන්චනා වීරකෝන් මහත්මිය විසින් පරිසරය සමග සම්බන්ධ වීම පිළිබඳව දේශනයක් පවත්වන ලදී






Monday, May 22, 2017

මිහිමඬලේ හිතැතියෝ 2017 

පරිසර හිතකාමී ස්වේච්ඡා සංවිධානය විසින් සංවිධානය කරන ලද මිහිමඬලේ හිතැතියෝ 2017 තරුණ කඳවුර මැයි මස 06 සහ 07 දෙදින පුරා බණ්ඩාරගම සර්වෝදය උසස් අධ්‍යාපන මධ්‍යස්ථානයේදී උතුර, දකුණ, සබරගමුව හා බස්නාහිර පළාත්වල තරුණ තරුණියන් 25 කගේ සහභාගීත්වයෙන් පැවැත්විය. දේශගුණික විපර්යාස හා හරිත නායකත්වය තේමා කොටගත් මිහිමඬලේ හිතැතියෝ 2017 කණඩායමේ බහුතරය පසුගිය වසරවල පැවති Youth Yathra වැඩසටහන් වලටලදී හරිත නායකයින් ලෙස පුහුණුව ලද තරුණ තරුණියන් වන අතර , පිලියන්දල ලියෝ සමාජයේ සාමජිකයන් කිහිප දෙනෙක් හා Face book හි අප පළ කළ දැන්වීම් හරහා අයදුම් කරන ලද කිහිප දෙනෙක් ද මේ සඳහා සහභාගී විය.

මෙහිදී අපට ඇති වූ විශාලතම ගැටළුව වූයේ මන්නාරම දිස්ත්‍රික්කයෙන් හා යාපනයෙන් පැමිණි තරුණ පිරිසෙන් සය දෙනෙකුටම ඉංග්‍රීසි හෝ සිංහල භාෂා කතා කිරීමට නොහැකි වීම හා අප අතරින් කිසිවෙකුට දමිළ භාෂාව කතා කිරීමට නොහැකි වීමයි. නමුත් පසු ගිය අවුරුදු වලපැවති යාත්‍රා සයකටමසහභාගී වූ ක්‍රියාකාරී සාමාජිකයකු වන නිව්ටන් හොඳින් සිංහල කතා කිරීම නිසා ඔහුට අපගේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කළේ ය. පුහුණු කඳවුර 06 වන සෙනසුරදා පෙ.ව. 9.00 ට ආරම්භ විය. උදෑසන ආහාරයෙන් පසුව මුල්ම ක්‍රියාකාරකම ලෙස සන්නිවේදන හැකියාව දියුණු කිරීමට ඉවහල් වන “ice breaker” නම් ක්‍රියාකාරකම කිරීමෙන් පසුව  එකිනෙකා හඳුනාගන්නා ලදී.
ඉන් අනතුරුව කීර්තිමත් පරිසර නීතීඥය ජගත් ගුණවර්ධන මහතා විසින් මෙහෙයවන ලද පරිසර නීතිය හා මහජන වගකීම් හා ආක්‍රමණශීලී ජීවී විශේෂ පිළිබඳ දේශන දෙකකට සවන් දීමේ අවස්තාව මොවුන්ට උදා විය.
මීට අමතරව මෙම පුහුණු කඳවුරේ තවත් එක් අංගයක් ලෙස අවබෝධාත්මක පරිබෝජනය පිළිබඳ ප්‍රදර්ශන පුවරු නරඹා ඒ පිළිබඳව  නව දැනුමක් ලබා ගැනීමට මෙම තරුණ කණ්ඩායමට හැකි විය.

සන්ධ්‍යා භාගයේදී විනෝද ක්‍රීඩාවකට සහභාගී වූ මොවුන්ට එමගින් සවන්දීමේ ,උපදෙස් පිළිපැදීමේ හා තම චින්තන රටාවේ දියුණුවට අවශ්‍ය කුසලතා වර්ධනය කරගැනීමට හැකි විය.
ඉන් පසුව ඔවුන් බල පිරමීඩයක ඉහළම අදියරේ මිනිසා කටයුතු කරන මානය අධික “Ego Centric”  ජීවන රටාව සහ පරිසරයේ සියළුම සත්ව හා ශාක කොටස්  එකිනෙකාට සේවය සපයමින් මිහි තලයේ සමාන අයිතියකින් කටයුතු කරන”Eco Centric” ජීවන රටාව පිළිබඳව කාන්චනා වීරකෝන් මහත්මිය සමග සාකච්ඡා කරමින් තම දැනුමට අලුත් යමක් එක් කර ගත්හ. 
එදිනම රාත්‍රී ආහාරයට පෙර සියල්ලෝම එක්ව තිරසාර ජීවන රටාව සහ ගෘහස්ත කසළ කළමණාකරණය පිළිබඳව කාන්චනා වීරකෝන් මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද දැනුවත් කිරීමට සවන් දෙමින් ඒ පිළිබඳව එකිනෙකාගේ අදහස් හුවමාරුකරගන්නා ලදී.
පසු දින අළුයම 5.45ට එක් රැස් වී ප්‍රණීත කොළ කැඳ වීදුරුවක රස බැලූ තරුණ පිරිසට අමතක නොවන උදෑසනක් ගතකිරීමේ අවස්ථාව උදා විය. පිනි විසිරුණු තණ බිස්ස මත හිඳගෙන කුරුල්ලන්ගේ නාදයට සවන් දෙමින් උදෑසන මන්ද මාරුතයේ සිහිලස විඳිමින් ඔවුන් පරිසරය හා මනසින් සම්බන්ධ විය. පරිසර භාවනාවෙන් සිත් සැහැල්ලු කරගත් ඔවුහු ඉන් පසුව උදා හිරු කිරණේ ආශ්වාදය ලබමින් සූර්ය නමස්කාරය සිදු කළහ. ඉන් අනතුරුව whirlys’ නම් සංගීත භාණඩය උපයෝගී කරගෙන සංගීතමය භාවනාවකට පිවිසුණහ. මෙම උදෑසන සියලු දෙනාගේම ආධ්‍යාත්මික දියුණුවට ඉමහත් රුකුලක් ලබා දුන් බව නිසැකවම කිව හැකියි.
හිමිදිරි උදෑසන සොබාදහම ගැන සාකච්ඡාවක්

සංගීතමය භාවනාව
පරිසර භාවනාව 

තුරු ලතා සමග කතා කරමින් පරිසරය විඳීම

සූර්ය නමස්කාරය
හරිත නායකයින් බිහි කරන මෙම තරුණ කඳවුරේ අවසාන අංගය වූයේ පරිසර චාරිකාවයි. මී මැස්සන්, සමනලුන්, කුරුල්ලන් , පැළෑටි හා ශාක ආදී පරිසරයේ විවිධ අංගයන් රස විඳිමින් ඒ පිළිබඳව ඉගෙන ගනිමින් තුරු වියන් යටින් පියනැගූ මෙම පරිසර චාරිකාව තරුණ කණ්ඩායමේ සියළුම සාමාජිකයින්ගේ ජීවිතයට අමතක නොවන අත්දැකීමක් එක් කිරීමට සමත් විය. එමෙන්ම මොවුන් ලැබූ නවමු අත්දැකීම වනුයේ සුන්දර බොල්ගොඩ ගංගාව හරහා පරිසර හිතකාමී පාරම්පරික ප්‍රවාහන මාධ්‍යක් වන පාලම් පාරුවක යාත්‍රා කිරීමේ අවස්තාව ලැබීමයි.
පරිසර චාරිකාව

කුරුල්ලන් හඳුනාගැනීම

විවිධ පැළ වර්ග හඳුනාගැනීම



Common mime නම් සමනලයාගේ පිලා අවස්තාව
පලා කටුස්සා 





















දින දෙකක් පුරාවට පැවති මෙම තරුණ කඳවුර අවසානයේ දිරාපත් නොවන කසළ කිසිවක් එක් නොවූ අතර දිරාපත් වන කසළ එක් වූයේ අත්ලට ගත හැකි ප්‍රමාණයක් බව අපි මෙහිදී ඉමහත් සතුටින් සඳහන් කරන්නෙමු.  ආගම් ජාති භේදයකින් තොරව මෙම පාරිසරික තරුණ කඳවුරට සහභාගී වූ තරුණ පිරිස කඳවුරෙන් ලබාගත් දැනුම,කුසලතා හා අත්දැකීම් ඇසුරු කරගනිමින් අනාගතයේදී මිහි මව ආරක්ෂා කරගනු ඇත.  ගසකින් නිකරුණේ පත්‍රයක් කඩා විසි නොකරනු ඇත. ජල බිඳක් හෝ අපතේ නොයවනු ඇත. තුරු ලතාවන් අපට ලබා දෙන ඔක්සිජන් වලට පවා සිය කෘතඥතාවය පළ කරනු ඇත. වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මිහිමඬලේ හිතැතියෝ වනු ඇත.


Monday, May 1, 2017

2001 ECO - V ආරම්භ වන විට කිසිම වෙලාවක ECO කියන වචනය ප්‍රසිද්ධියට පත් වෙලා තිබුනෙ නැහැ. පරිසර හිතකාමී කියන නම ECO - V එකට දෙන්න පවා මුල් වුණේ මෙවැනි ඉල්ලුමක් ඒ දිනවල ලංකාව තුළ නොතිබීමයි.. පරිසර හිතකාමී ස්වේච්ඡා සංවිධානය ලෙස මෙම ස්වේච්ඡා යන වචනය යොදා ගනිමින් ECO - V ආරම්භ කිරීමට මුල් වූයේ ශ්‍රී ලාංකික සමාජය තුළ ඉතාමත් ගුණ යහපත් ලක්ෂණයක් ලෙස පැවති මේ ස්වේච්ඡාවෙන් වැඩ කිරීම ටිකෙන් ටික අභාවයට යමින් පැවතීමත් එය නැවත තරුණ පරම්පරාව අතර ප්‍රචලිත කිරීමේ විශාල අවශ්‍යතාවයක් අපට තිබුණු නිසාත්ය. ඒත් සමගම ඒ ස්වේච්ඡාවෙන් වැඩ කරන පිරිස පරිසර හිතකාමීව සිතන්න පුරුදු කිරීම අපේ මූලික අරමුණක් වුණා. ඒ නිසාම ECO - V සංවිධානය බිහි වුණා. එහි නම "පරිසර හිතකාමී ස්වේච්ඡා සංවිධානය" ලෙස සිංහලෙනුත් Eco Friendly Volunteers ලෙස ඉංග්‍රීසියෙනුත් අපි නම් කළා.ඉතින් එදා මෙදා තුර ECO - V වසර 17ක් සම්පූර්ණ කරල අද වන විට රටේ ECO කියන වචනය කොළ පාට ගාපු බිල්ඩිමකටත් පොල් අත්තක් එළපු බත් කඩේකටත් යොදාගන්න පටන් අරගෙන තියෙනව. එසේත් නැතිනම් මුලු බිල්ඩිමම කොන්ක්‍රීට් කරල ඒකෙ කොළ පාට ගාල ඒක ECO කියල නම් කරන්නත් මිනිස්සු පෙළඹිල තියෙනව. ඒ නිසා දැන් අපි දකින මේ ECO කියන වචනය ගොඩාක් දූෂණයට පත් වුණු වචනයක් ලෙසත් එහි මූලික අරමුණ හරියට තේරුම් ගත්තෙ නැති පිරිසක් විසින් එය Abuse කරන මට්ටමේ  සිටින බවත් අපට වැටහිලා තියෙනව.

ඒ කෙසේ වෙතත් මීතොටමුල්ලේ සිද්ධියත් සමග මිනිස් ජීවිත ගණනාවක් අපිට අහිමි වුණා ඉතාම කැත විදියටමොකද කුණු ගොඩකට යටවෙලා මැරෙන්න තරම් පව් කරපු ජනතාවක් ඉන්න රටක් ලෙස ලේබලයක් වැදුණා. ඒ වගේම ඒ කුණු කාගෙ කුණුදඒ අපේම කුණු. හරියට මේක අපි දකින්නෙ සුනාමියක් වගේ. අපි මේ මිහිමවට කරන විනාශය මිහිමවට දරාගන්න බැරි වෙන වෙලාවට ආපහු අපටම ඒ විනාශය ඇති කරනව. ඇය මේක කැමැත්තෙන් නෙමේ කරන්නෙ. කරන්න වෙන දෙයක් නැති නිසා. ඉතින්  2004 වසරෙදි අපිට ආපු සුනාමිය හා සමාන ව්‍යවසනයක් ලෙසයි ගිය වසරේ ආපු ගං වතුරත් අපි දකින්නෙ. ඒ වගේමයි මේ වසරේ මේ කුණු ගොඩ නාය යාමත් සමග සිද්ධවුණු ව්‍යවසනය. කොහොම නමුත් කොළඹ අග නගරය එක්ක වපසරියක පමණක් සිද්ධවුණු මේ විනාශය රට පුරාම කතිකාවකට ලක් වෙලා තියෙන මොහොතක ECO - V පරිසර සංවිධානයක් ලෙස, අපට අහිංසක ආඩම්බයක් ඇති වෙලා තියෙනව අපි වසර 17ක් පුරාවට කතා කරපු මේ බොහෝ සංසිද්ධීන් දැන් Face book, twitter, instagram වැනි සමාජ ජාල හා වෙනත් විවිධ වෙබ් අඩවි තුළින් හෝ මිනිසුන් නැවත නැවතත් කියන්න පෙළඹී තිබීම පිළිබඳව. පරිසර හිතකාමී වීමේ අගය මිනිසුන්ට වැටහිලා තියෙනව. වසර 17ක් පුරාවට අප කතා කරපු දේ ක්‍රියාවෙන් ඔප්පු කරපු සංවිධානයක්. මහා ලොකුවට ප්‍රසිද්ධිය හඹා ගියෙ නැතත් අපි පුහුණු කරපු තරුණ දරුවො දන්නව මේ පරිසර හිතකාමී වීම සහ අපි ඒකෙන් අදහස් කළේ මොකද්ද කියල. ඒ වගේම අපිත් එක්ක විවිධ විදියට සම්බන්ධ වුණු අය අපිට කෝල් කරල කියනව අපි මෙතෙක් කල් කියපු දේ තමයි හරි දැන් ඒක මිනිස්සුන්ට වැටහිලා තියෙනව කියල. ඉතින් ඒ නිසයි මම කිව්වෙ අපිට අහිංසක සතුටක් තියෙනව කියල මිනිස්සුන්ට මේක වැටහෙන්න පටන්ගැනීම පිළිබඳව. නමුත් ඒ එක්කම මහා දුකක් දැනෙනව මිනිස්සුන්ට මෙය වැටහෙන්න කුණු කන්දක් නාය යන්නම අවශ්‍ය වුණ එක පිළිබඳව.

අපි හැමදාම කිව්වෙ අපි මිහි අම්මට කරන හානියක් තියෙනව නම් අනිවාර්යයෙන්ම කවදා හෝ අපටම නැවත එය විඳින්න සිද්දවන බව. ඒ නිසාම තමයි පරිසර හිතකාමී ස්වේච්ඡා සංවිධානය බිහිවුණු දවසේ ඉඳන්නම අපි කතා කරපු ගොඩාක් දේවල් වල පරිසර හිතකාමී පුරවැසියාගේ වටිනාකම පිළිබඳව සඳහන් කළේ. Individual responsibility අපේ inner change එකඑහෙමත් නැත්නම් අභ්‍යන්තරයෙන් අපි වෙනස් වී එය ක්‍රියාවට නැංවූයේ නැතිනම්අපි සිතෙන්ම පරිසර හිතකාමී වුණේ නැතිනම් අපිට මේ සමාජය පරිසර හිතකාමී කරන්න බැහැ. එදා කිව්වෙ තමන් පරිසර හිතකාමී වෙලා තමන්ගෙ අත් දෙකෙන් තව දෙන්නෙක්ව අල්ලගන්න ඒ දෙන්නව පරිසර හිතකාමී කරන්න ඒ හොඳටම ඇති ඔබගේ වගකීම ඉටු කළා කියල වෙනව. ඉතින් අද අපිට කියන්න තියෙන්නෙ අපි පරිසර හිතකාමී වෙන්න ඕනෙ. අපේ පවුල පරිසර හිතකාමී කරන්න ඕනෙ අපේ අසල්වැසියන් පරිසර හිතකාමී කරන්න පුලුවන් වෙන්න ඕනෙ කියල. එහෙම කරන්න බැරිනම් අඩුම තරමෙ පවුල පරිසර හිතකාමී ලෙස ජීවත් වෙනව නම් ඒකත් ලොකු දෙයක්. දැන් කුණු ප්‍රශ්නෙදි අපිට මේක හොඳට ඔප්පු වෙනව. තමන්ගෙ කුණු තමන් කළමණාකරණය කළේ නැත්නම් ඒක අසල්වැසියන්ට ප්‍රශ්නයක්. ඒ සල්වැසියන් තම්න්ගෙ කුණු කළමණාකරණය කළේ නැත්නම් ඒක නගරසභාවට ප්‍රශ්නයක්. ප්‍රාදේශීය සභාවට ප්‍රශ්නයක්. අන්න ඒක තමා කුණු ගොඩක් වෙන්නෙ. එතකොට තමන්ට අද දවසෙ සතුටු වෙන්න පුළුවන් නම් තමන්ගෙ කුණු මහ නගර සභාවට යන්නෙ නැහැකුණු කන්දට යන්නෙ නැහැ  කියන සතුට ගන්න පුලුවන් අද දවසේ කීයෙන් කී දෙනාටදඒ සතුට විඳින පිරිසක් ලෙස ECO - V අපි ඉන්නව. එදත් අපි ඒ සතුට වින්ද. අපි අදත් ඒ සතුට වැඩි වැඩියෙන් විඳිනව. ඒක නිසයි  තමන්ගෙ කසළ කළමණාකරණය කර ගැනීමේ වගකීම තමන්ට මිසක් ඒක නගර සභාවට අයිති දෙයක් නෙමෙයි කියන එක අපි කියන්නෙ. ඒ නිසා මේ අවස්ථාවෙ අපි නැවත නැවත මතක් කරනව පරිසර හිතකාමී වීම කියන්නෙ මොකද්ද කියල.

අපි 2001 අපේ පළවෙනි පත්‍රිකාවෙ කිව්වෙ මුදලාලි නොමිලේ දෙන ශොපින් බෑග් එකට එපා කියන්න බය වෙන්නෙපා කියල. ඒක අදටත් වලංගුයි. කී දෙනෙක් ඒ ශොපින් බෑග් එකට එපා කියල තමන්ගෙ ශොපින් බෑග් එකටතමන් අරන් යන මල්ලට බඩු දාගෙන එනවද කියල. Super Market හරහා අපි කොයිතරම් අරගලයක් කළාද එක එළවළුවකට එක සිලි බෑග් එක ගානෙ දෙනව වෙනුවට තමන් ගෙනියන එක බෑග් එකකට හැම දේම දාගෙන ඒකට Sticker එක එළියෙන් අලවල ගන්න පුළුවන් කියල. කිසිම ශොපින් බෑග් එකක් Super Market එකෙන් නොමිලේ ගන්නෙ නෑ කියල අපි ඔප්පු කරලත් පෙන්නුව. ඉතින් ඒක අද කොයිතරම් අපිට වළංගුදනමුත් අපිට Super Market වලින් කියන කතාව තමයි මිස්ල ඔහොම කළාට අපෙන් කී දෙනෙක් බෑග් කීයක් ඉල්ලනවද බැනල යනව බෑග් එකක් දුන්නෙ නැතිනම් එක බෑග් එකක් නෙමේ දෙකක් තුනක් ඉල්ලගෙන යනව කියල. එහෙම කරපු අය අද දෙසරයක් හිතල බලන්න තමන්ගෙ ඒ ශොපින් බෑග් එක ගිහිල්ල මීතොටමුල්ලෙ කුණු කන්දට වුණු දේ. කරදියාන හෝ වේවා දොම්පෙ හෝ වේවා හෝමාගම වේවා කොහේ හරි කුණු ගොඩක එකතු වෙලා තියෙන්නෙ තමන් ඒ නොමිලේ ඉල්ලන් ගිය ශොපින් බෑග් එක නෙමේදඔය කුණු කඳු එකතු වෙන්නෙ නැහැ තමන්ගෙ ශොපින් බෑග් එක ඉවත දැම්මෙ නැතිව හිටිය නම්. කුණු කන්දෙ තියන කුණු ටික දිරල යනව ඉතාම ඉක්මනින් පොලිතීන් ප්ලාස්ටික් වැනි නොදිරන ද්‍රව්‍ය කුණු කන්දෙ නොතිබ්බනම්. ඒක වුණේ නැති නිසා තමයි ඔය විදියට නාය ගියේ. ඉතින් අද ඉඳන්වත් නොමිලේ දෙන ශොපින් බෑග් එකට එපා කියනව කියන අධිෂ්ඨානය කීයෙන් කී දෙනෙක්ට ගන්න පුලුවන්දනමුත් තමතන්ට ඒ අධිෂ්ඨානය ගන්න වැඩිකල් නොලැබේවා කියල අපි ප්‍රාර්ථනා කරනව මොකද අපි මේ වෙලාවෙ රජයට බලකරමින්  කියා සිටින්නෙ මේ නොමිලේ දෙන ශොපින් මල්ල තහනම් කළ යුතුමයි කියල.  ඒ වගේම ඉතාම ලාබෙට ගන්න පුළුවන් Lunch Sheet එක තහනම් කළ යුතුයි කියන තැන ඉන්නෙ අපි. ඒ වගේම හැම ජරා බීමක්ම දාල දෙනවතුර ටික පවා දාල දෙන පෙට් බෝතලය තහනම් කළ යුතුයි කියන තැන අපි ඉන්නෙ. ඒ වගේම තමා කිසිම වැඩකට නැති පරිසර හානිය උපරිමෙන්ම සිදු කරන අපේ සෞඛ්‍යයට ඉතාම තර්ජනයක් එකතු කරන පිළිකා කාරක ඇති කරන බෙන්සීන් සහ ස්ටයිරීන් කියන මූල ද්‍රව්‍ය අපේ ඇඟට එකතු කරනකෑම එක දාල වහල දෙන ස්ටයිරෆෝම් කියන රිජිෆෝම් පෙට්ටිය එහෙමත් නැතිනම් කොත්තුව දාල දෙන පිඟානබීම එක දාල දෙන ස්ටයිරෆෝම් කෝප්පය තහනම් කළ යුතුයි කියන තැන. මේ හතර වර්ගය අද රටේ තහනම් කළා නම් රටක් විදියට අපට ගොඩාක් ඉස්සරහට යන්න පුළුවන්. පරිසරය රැක ගන්න ගමන් පිළිකා වැනි ලෙඩ රෝගවලට ගොදුරුවන අපේ මිනිස්සු අපිට රැක ගන්න පුළුවන්. එහෙම උණොත් කුණු කඳු ගොඩගැහෙන්නෙ නැහැ. මේ පණිවිඩය තරයේ කියනව අපි රජයටරජය අපිට සහයෝගය දෙන්න මහජනතාව බේරගන්න කියල. ඒ වගේම මහජනතාව බේරෙනව කියන්නෙ ඉබේම පරිසරය බේරෙන තැනට එනව. අපි එදාට තවත් සතුටු වෙයි. මොකද මිහි අම්මව බේරගන්න අපිට එකතුවෙන්න පුළුවන් නිසා.

ඉතින් රජයට මේ බලකිරීම කරන අතරෙ රජයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න උනන්දු කරවන අතරෙ ඔබලාට දෙසරයක් හිතල බලන්න තියෙනව. ඒ තමා තමන් ගෙදරට ගේන කුණු අවම කරල.සමහර කුණු වලට එපා කියල. කොටින්ම අපි ඒ දවස්වල ඉඳන් කියපු දේ තමයි සපත්තු කුට්ටමක් ගත්තම පෙට්ටිය ඕනිදපෙට්ටිය ආපහු කඩේ තියල එන්න මොකද සපත්තු දෙක එවෙලෙ ඉඳන් දානව ඕකට පෙට්ටියක් ඕනි නෑ. කේක් එකක් ගන්න තියෙනව නම් පෙට්ටිය කඩේ තියල එන්න. තමන්ට දවටනයක් දෙනව නම් තමන් ඒක එපා කියල තමන් ගෙනියන රෙදි මල්ලට දාගන්න. තමන් ගෙනියන සිලි බෑග් එකට දාගන්න.  තමන්ගෙ බෑග් එකේ ශොපින් බෑග් කිහිපයක් තියාගෙන ඉන්න. ඒකත් එක්ක සාරි බෑග් එකක් තියාගන්න. ඉවතදාන සාරියකින් හදන බෑග් අපි හඳුන්වල දුන්න. පන් මල්ලක් තියාගන්න පොළේ යන්න. අද පොළේ යන කී දෙනෙක් පොළෙන් සිලි බෑග් අරගෙන එනවදගෙයක් ගානෙ ගිහින් එළවළු ටිකක් ඇඹරැල්ල ගෙඩියක් එකතු කරගෙන එන ඒ අහිංසක දුප්පත් වෙළෙන්දට කොයි තරම් වියදමක් යනවද ශොපින් බෑග් අමතරව සල්ලි දීල අරගෙන අපිට ඒක නොමිලේ දෙන්න වුණාම. ඇත්තටම මේ ව්‍යාපාර ලෝකය තුළ නොමිලේ කියල අපි හිතුවට ඒ මුදල අපගෙන් ඉබේම අය වෙනව.  නමුත් ඒක අපිට දැනෙන්නෙ නැහැ. ඒ කෙසේ වෙතත් අපිට කරන්න පුළුවන් යුතුකම තමයි මේ දේවල් වලට එපා කියන එක. මොකද ගෙදරට කසළ ගෙනාවොත් විතරයි කසළ වැඩි වෙන්නෙ. කසළ ඉවත දාන්න වෙන්නෙ. තමන්ට පුළුවන් නම් මුගුණුවැන්න මිටිය තමන්ගෙ පවුලට සරිලන එකක් ගන්නඑහෙම නැතිව ලාබ නිසා ලොකු එකක් ගන්නෙ නැතිව ඉන්නලාබ නිසා කෙසෙල් ඇවරි දෙක තුනක් ගන්නෙ නැතිව ඉන්නලාබ නිසා හෝ නොමිලේ ලැබෙන නිසා වෙනත් ආහාර වැඩිපුරගන්නෙ නැතිව ඉන්න. කොම්පෝස්ට් ටික පවා අඩු කරගන්න පුළුවන් දිරා යන කුණු ප්‍රශ්නයක් වෙලා තියෙන නාගරීකරණය වුණු ගෙවල් වල. අඩි දෙක තුනක විතරක් ඉඩ තියෙන ගෙවල් වල. එවැනි ගෙවල් වල කුණු දැනටත් අපි අපේ Eco Garden එකට අරගන්නව කොම්පෝස්ට් හදන්න. අපේ අසල්වැසියො හතර පස් දෙනෙක් අපිට එයාලගෙ කුණු ගෙනත් දෙනව. මොකද නගර සභාව ගෙනියන්නෙ නෑ කියල. මං අහනව ඇයි ඕගොල්ලන්ට මේක කරගන්න බැරි කියල. එතකොට කියනව අපි අලුතෙන් හදපු ගෙවල්අපිට මේව ගඳයිමේව අපිට තියන්න තැනක් නෑපණුවො එනව මැස්සො එනව කියල. නිකමට හිතන්න තමන්ගෙ කසළ මැස්සෙක් එන පණුවෙක් එන අපුල කසළ නම් ඒ කසළ නගර සභාවෙ කුණු එකතු කරන මනුස්සයට කොයිතරම් අපුලක් ඇද්දඅපි එහෙම හිතල අපි අපේ ජරාව අපිම කළමණාකරණය කරගන්න ඕනි. හැබැයි ඇත්තටම අපිට මේක ජරාව නෙමේ. මේක තමයි මිහි මවට ආපසු දිය යුතු සම්පත. අපි කන බොන දේ පවාඅපේ මුත්‍රා අසූචි පවාහරි විදිහට දිරල යන්න අපි මේ මහපොළොවට දෙන්න ඕනි. ඒවට කෘමි නාශක හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කළේ නැතිනම් මේ මිහිමවට පුළුවන් අපේ අසූචි අපේ මුත්‍රා අපේ කසළ ටික නැවත පසක් විදියට නිර්මාණය කරල නීරෝගී පසක් කරන්න. නමුත් දැන් අද කාළෙ ලෙඩ වෙලා ඉන්න නාගරික ජනතාව ගන්න antibiotics එහෙමත් නැතිනම් ප්‍රති ජීවක ඖෂධ නිසාම අපි එළියට දාන මළ පහ මුත්‍රා පවා දූෂණය වෙලා ඉවරයි. ඒ දේවල් නැවත පසට එකතු වෙනකොට අනිවාර්යෙන්ම පසෙන් මේව අපට ආහාර හරහා ලැබෙනව. ඒ වගේම කෘමි නාශකරසායනික ද්‍රව්‍ය ගහල වවපු එළවළු පලතුරු ටික කොම්පෝස්ට් වෙලා එනකොට ඒවයේ විස අපට ආපහු ලැබෙනව. නමුත් කරන්න දෙයක් නැහැ. අපට පුළුවන් අඩුම තරමෙ ඒ ගැන අමතක කරල අපට මේ දිරා යන කුණු වලින් පසක් හදල නැවත ගස් ටිකට දාන්න,  කොටින්ම බැල්කනි එකේ පවා තමන්ට අවශ්‍ය කරපිංච ගහ රම්පෙ ගහ හදාගන්න පුළුවන්. මෙවැනි විප්ලවයකට අප යා යුතුයි. මේ විප්ලවය කලොත් විතරයි අපිට කසළ කඳු ගොඩගැහෙන එක නවත්වන්න පුළුවන් වෙන්නෙ. 


ඒ නිසා තමන් අවබෝධාත්මක පරිභෝජනයකට යන්න. තමන්ගෙ යුතුකම් ඉටු කරන්න මේ රටට. නගර සභාවට බැන බැන ඉන්නවට වඩා තමන් නගර සභාවට කසළ දෙන්නෙ නැති කෙනෙක් වෙන්න උත්සහ කරන්න පුළුවන් කියන එක අපි මතක් කරන්න කැමතියි. ගොඩක් වෙලාවට නගර සභාවෙ මිනිස්සු ඇවිත් අපේ ගේට්ටුවට ගහල කසළ ඉල්ලනව.  එතකොට අපි කියනව අපිට දෙන්න කසළ නෑ කියල. හිතාගන්න බෑ කොහොමද එහෙම කසළ නැතිව ඉන්නෙ කියල. එවැනි තත්වයක් අපි ඇති කළා. දැනට අවුරුදු 17ක් තිස්සෙ අපි මේ ක්‍රියාමාර්ගය කරගෙන යනව. මේක කරන්න බැරි නැහැ. කරන්න පුළුවන්. අවශ්‍ය අපට හදවතක් තිබීම පමණයි. මේ හදවත අපිට මොළෙත් එක්ක එකතු කලොත් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ නිසා අපි විසඳුම් දීලයි තියෙන්නෙ. ඒ විසඳුම් එකින් එක ඔබලාට දැනගන්න දැනුවත් කරන්න අපි දැන් මහාපරිමාණයෙන් කටයුතු කරගෙන යනව. එතකන් ඔබ නැවත හිතන්නකසළ වලට එපා කියන්න. කසළ පැතිරෙන එක අඩු කරන්න උත්සහ ගත්තොත් තමන්ගෙ යුතුකම මේ මිහිමවට කළා වෙනව. එතකොට තවත් ජීවිත ගණනාවක් මරා දමන මිනී මරන පිරිසක් බවට අපි පත්වෙන්නෙ නෑ කියන එක අපි මතක් කරන්න කැමතියි.


-කාන්චනා වීරකෝන්-