Monday, May 22, 2017

මිහිමඬලේ හිතැතියෝ 2017

මිහිමඬලේ හිතැතියෝ 2017 

පරිසර හිතකාමී ස්වේච්ඡා සංවිධානය විසින් සංවිධානය කරන ලද මිහිමඬලේ හිතැතියෝ 2017 තරුණ කඳවුර මැයි මස 06 සහ 07 දෙදින පුරා බණ්ඩාරගම සර්වෝදය උසස් අධ්‍යාපන මධ්‍යස්ථානයේදී උතුර, දකුණ, සබරගමුව හා බස්නාහිර පළාත්වල තරුණ තරුණියන් 25 කගේ සහභාගීත්වයෙන් පැවැත්විය. දේශගුණික විපර්යාස හා හරිත නායකත්වය තේමා කොටගත් මිහිමඬලේ හිතැතියෝ 2017 කණඩායමේ බහුතරය පසුගිය වසරවල පැවති Youth Yathra වැඩසටහන් වලටලදී හරිත නායකයින් ලෙස පුහුණුව ලද තරුණ තරුණියන් වන අතර , පිලියන්දල ලියෝ සමාජයේ සාමජිකයන් කිහිප දෙනෙක් හා Face book හි අප පළ කළ දැන්වීම් හරහා අයදුම් කරන ලද කිහිප දෙනෙක් ද මේ සඳහා සහභාගී විය.

මෙහිදී අපට ඇති වූ විශාලතම ගැටළුව වූයේ මන්නාරම දිස්ත්‍රික්කයෙන් හා යාපනයෙන් පැමිණි තරුණ පිරිසෙන් සය දෙනෙකුටම ඉංග්‍රීසි හෝ සිංහල භාෂා කතා කිරීමට නොහැකි වීම හා අප අතරින් කිසිවෙකුට දමිළ භාෂාව කතා කිරීමට නොහැකි වීමයි. නමුත් පසු ගිය අවුරුදු වලපැවති යාත්‍රා සයකටමසහභාගී වූ ක්‍රියාකාරී සාමාජිකයකු වන නිව්ටන් හොඳින් සිංහල කතා කිරීම නිසා ඔහුට අපගේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කළේ ය. පුහුණු කඳවුර 06 වන සෙනසුරදා පෙ.ව. 9.00 ට ආරම්භ විය. උදෑසන ආහාරයෙන් පසුව මුල්ම ක්‍රියාකාරකම ලෙස සන්නිවේදන හැකියාව දියුණු කිරීමට ඉවහල් වන “ice breaker” නම් ක්‍රියාකාරකම කිරීමෙන් පසුව  එකිනෙකා හඳුනාගන්නා ලදී.
ඉන් අනතුරුව කීර්තිමත් පරිසර නීතීඥය ජගත් ගුණවර්ධන මහතා විසින් මෙහෙයවන ලද පරිසර නීතිය හා මහජන වගකීම් හා ආක්‍රමණශීලී ජීවී විශේෂ පිළිබඳ දේශන දෙකකට සවන් දීමේ අවස්තාව මොවුන්ට උදා විය.
මීට අමතරව මෙම පුහුණු කඳවුරේ තවත් එක් අංගයක් ලෙස අවබෝධාත්මක පරිබෝජනය පිළිබඳ ප්‍රදර්ශන පුවරු නරඹා ඒ පිළිබඳව  නව දැනුමක් ලබා ගැනීමට මෙම තරුණ කණ්ඩායමට හැකි විය.

සන්ධ්‍යා භාගයේදී විනෝද ක්‍රීඩාවකට සහභාගී වූ මොවුන්ට එමගින් සවන්දීමේ ,උපදෙස් පිළිපැදීමේ හා තම චින්තන රටාවේ දියුණුවට අවශ්‍ය කුසලතා වර්ධනය කරගැනීමට හැකි විය.
ඉන් පසුව ඔවුන් බල පිරමීඩයක ඉහළම අදියරේ මිනිසා කටයුතු කරන මානය අධික “Ego Centric”  ජීවන රටාව සහ පරිසරයේ සියළුම සත්ව හා ශාක කොටස්  එකිනෙකාට සේවය සපයමින් මිහි තලයේ සමාන අයිතියකින් කටයුතු කරන”Eco Centric” ජීවන රටාව පිළිබඳව කාන්චනා වීරකෝන් මහත්මිය සමග සාකච්ඡා කරමින් තම දැනුමට අලුත් යමක් එක් කර ගත්හ. 
එදිනම රාත්‍රී ආහාරයට පෙර සියල්ලෝම එක්ව තිරසාර ජීවන රටාව සහ ගෘහස්ත කසළ කළමණාකරණය පිළිබඳව කාන්චනා වීරකෝන් මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද දැනුවත් කිරීමට සවන් දෙමින් ඒ පිළිබඳව එකිනෙකාගේ අදහස් හුවමාරුකරගන්නා ලදී.
පසු දින අළුයම 5.45ට එක් රැස් වී ප්‍රණීත කොළ කැඳ වීදුරුවක රස බැලූ තරුණ පිරිසට අමතක නොවන උදෑසනක් ගතකිරීමේ අවස්ථාව උදා විය. පිනි විසිරුණු තණ බිස්ස මත හිඳගෙන කුරුල්ලන්ගේ නාදයට සවන් දෙමින් උදෑසන මන්ද මාරුතයේ සිහිලස විඳිමින් ඔවුන් පරිසරය හා මනසින් සම්බන්ධ විය. පරිසර භාවනාවෙන් සිත් සැහැල්ලු කරගත් ඔවුහු ඉන් පසුව උදා හිරු කිරණේ ආශ්වාදය ලබමින් සූර්ය නමස්කාරය සිදු කළහ. ඉන් අනතුරුව whirlys’ නම් සංගීත භාණඩය උපයෝගී කරගෙන සංගීතමය භාවනාවකට පිවිසුණහ. මෙම උදෑසන සියලු දෙනාගේම ආධ්‍යාත්මික දියුණුවට ඉමහත් රුකුලක් ලබා දුන් බව නිසැකවම කිව හැකියි.
හිමිදිරි උදෑසන සොබාදහම ගැන සාකච්ඡාවක්

සංගීතමය භාවනාව
පරිසර භාවනාව 

තුරු ලතා සමග කතා කරමින් පරිසරය විඳීම

සූර්ය නමස්කාරය
හරිත නායකයින් බිහි කරන මෙම තරුණ කඳවුරේ අවසාන අංගය වූයේ පරිසර චාරිකාවයි. මී මැස්සන්, සමනලුන්, කුරුල්ලන් , පැළෑටි හා ශාක ආදී පරිසරයේ විවිධ අංගයන් රස විඳිමින් ඒ පිළිබඳව ඉගෙන ගනිමින් තුරු වියන් යටින් පියනැගූ මෙම පරිසර චාරිකාව තරුණ කණ්ඩායමේ සියළුම සාමාජිකයින්ගේ ජීවිතයට අමතක නොවන අත්දැකීමක් එක් කිරීමට සමත් විය. එමෙන්ම මොවුන් ලැබූ නවමු අත්දැකීම වනුයේ සුන්දර බොල්ගොඩ ගංගාව හරහා පරිසර හිතකාමී පාරම්පරික ප්‍රවාහන මාධ්‍යක් වන පාලම් පාරුවක යාත්‍රා කිරීමේ අවස්තාව ලැබීමයි.
පරිසර චාරිකාව

කුරුල්ලන් හඳුනාගැනීම

විවිධ පැළ වර්ග හඳුනාගැනීම



Common mime නම් සමනලයාගේ පිලා අවස්තාව
පලා කටුස්සා 





















දින දෙකක් පුරාවට පැවති මෙම තරුණ කඳවුර අවසානයේ දිරාපත් නොවන කසළ කිසිවක් එක් නොවූ අතර දිරාපත් වන කසළ එක් වූයේ අත්ලට ගත හැකි ප්‍රමාණයක් බව අපි මෙහිදී ඉමහත් සතුටින් සඳහන් කරන්නෙමු.  ආගම් ජාති භේදයකින් තොරව මෙම පාරිසරික තරුණ කඳවුරට සහභාගී වූ තරුණ පිරිස කඳවුරෙන් ලබාගත් දැනුම,කුසලතා හා අත්දැකීම් ඇසුරු කරගනිමින් අනාගතයේදී මිහි මව ආරක්ෂා කරගනු ඇත.  ගසකින් නිකරුණේ පත්‍රයක් කඩා විසි නොකරනු ඇත. ජල බිඳක් හෝ අපතේ නොයවනු ඇත. තුරු ලතාවන් අපට ලබා දෙන ඔක්සිජන් වලට පවා සිය කෘතඥතාවය පළ කරනු ඇත. වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මිහිමඬලේ හිතැතියෝ වනු ඇත.




සැකසුම : චාපා එරන්දි

No comments:

Post a Comment