Thursday, March 29, 2018

වසන්තයට සැරසෙන ECO-V අපේ පරිසර හිතකාමී කාබනික ගෙවත්ත

පරිසරය කියන්නෙ අපේ ජීවිතයේම කොටසක් ද? නැහැ. ඇත්තටම අපි තමයි පරිසරයේ එක් පුන්චිම පුන්චි අංශුවක් වෙන්නෙ. ඉතින් මිහිමඬලේ හිතැතියන් ඒකරාශී කරන එක් තෝතැන්නක් වන පරිසර හිතකාමී ස්වේච්ඡා සංවිධානය (ECO-V) වන අපේ ආයතනයට සම්බන්ධ සුවිශේෂීම අංගය තමයි අපේ මේ Eco garden එක. කෘෂිකර්මය හා වගා ක්‍රම පිළිබඳව පෘථුල අවබෝධයක් මට නොමැති වුවත් උදෑසනම නාගරික ප්‍රදේශයක ඇති මේ පුංචි ගෙවත්තට පිවිසුනාම හිතට දැනෙන්නෙ වචනයෙන් කියා නිම කළ නොහැකි සැනසීමක්. සුන්දරත්වයක්. 


චෙරි ගසේ ගෙඩි පිරී ඇති අයුරු

ගෙවත්ත මධ්‍යයේ ඇති අලංකාර චෙරි ගස
උදා හිරු කිරණට හිනැහෙන නොයෙක් වර්ගයේ ශාක විශාල ප්‍රමාණයක් මේ  පුංචි පර්චස් 20 ඇතුලත අපට දැකගන්න පුලුවන්. උදෑසනම මේ භූමියට ගොඩවදින ඕනෑම කෙනෙක් පිළිගන්න තවත් එක්තරා පිරිසක් මග බලාගෙන ඉන්නව. ඒ තමයි විශේෂ 17කට පමණ අයත් වන පාට පාට සමනල් රංචුව. ඔවුන් සඳහා අඬනිහිරියා, කතුරුමුරුංගා, කිරි අඟුණ ආදී ධාරක ශාක විශේෂ (බෝ වීම සඳහා උදව් වන ශාක) සහ දෙහි, සීනියාස්, බලු නගුට, රාජ පොහොට්ටු ආදී පෝෂක ශාක විශේෂ (පෝෂණය සඳහා උපකාරී වන ශාක) ගණනාවක් අපේ Eco garden එකේ දැක බලාගන්න පුළුවන්. (අඬනිහිරියා, දෙහි ආදී ඇතැම් ශාක ධාරක සහ පෝෂක යන වර්ග දෙකටම අදාළ වේ.) සමනලුන්ට අමතරව මේ කුඩා හරිත උයන තවත් ජීවීන් බොහෝ ප්‍රමාණයකගේ ස්වකීය රාජධානිය බවට පත්ව ඇති අපූරුව අපට දවසේ ඕනෑම වෙලාවක මෙයට පිවිසුනොත් දැක බලාගන්න පුළුවන්.



අපේ Eco garden එකේ සම්බන්ධීකාරක තමයි මේ ඉන්නෙ.

අලුතෙන් සෑදූ පාත්ති වල පස සකසමින්



ඇය නමින් ජයනි දන්දෙනිය. හදවතින්ම පරිසරයට ආදරය කරන ඇය උදෑසන කාලය සම්පූර්ණයෙන්ම garden එකේ තමයි ගත කරන්නෙ. ඉන් පසු සවස් වරුවේදීත් පැය කිහිපයක් එහි ගත කරන ඇය අමතර වෙලාවල්හිදී බොහෝ විට පරිසර හිතකාමී වගා ක්‍රම සහ ඒ ආශ්‍රිත දෑ පිළිබඳව පොත් පත් හෝ අන්තර්ජාලයේ පල වන ලිපි පරිශීලනය කරමින් ECO-V ආයතනයේ නිර්මාතෘ කාන්චනා මිස්ගේත් උපදෙස් අනුගමනය කරමින්  මේ නාගරික ගෙවත්ත මනා ලෙස නඩත්තු කිරීමට හදවතින්ම උත්සහ දරනව.




බඩ ඉරිඟු ශාක කෘමි උවදුරින් බේරා ගැනීම සඳහා කාබනික කොහොඹ දියරය ඉසිමින්

බොහෝ සිකුරාදා දිනයන්හි සවස් වරුව ඇය ගත කරන්නෙ සෙනසුරාදා දිනය පුරාවටම කොළඹ රේස් කෝස් පරිශ්‍රයෙහි පවත්වනු ලබන Good Market සඳහා Eco garden එකෙන් සතියක් තුළ ලබන වස විසෙන් තොර ඵලදාව නෙලා යැවීම සඳහායි. පුන්චි පර්චස් 20ක් තුළ මේ තරම් ඵලදාවක් ලබන්න පුලුවන්ද? ඔව්. ඒක ප්‍රශ්නයක්. ආර්ථිකමය වශයෙන් විශාල ආදායමක් ලැබීම නෙමෙයි අපේ Eco garden එකේ අරමුණ. පොඩි ඉඩප්‍රමාණයක් හැකි උපරිමයෙන් ප්‍රයෝජනයට අරගෙන ඉන් ලබන ඵලදාව ECO-V අපි අතර සහ good market හිදී සාධාරණ මුදලකට අලෙවි කර එම මුදල් නැවතත් Eco garden එකේම සුබ සිද්ධිය සඳහා යෙදවීම තමයි අපේ අරමුණ.

Good Market සඳහා අස්වැන්න
ඊට අමතරව බොහෝ අවස්ථාවන්හිදී දේශීය විදේශීය විශ්ව විද්‍යාල සිසු සිසුවියන් ආදී නොයෙකුත් වයස් කාණ්ඩයන්හි පිරිස් සඳහා දැනුම සහ නාගරික ප්‍රදේශයක ගහකොළ සමග මොහොතක් රැඳීමේ ආශ්වාදය ලබා දෙන අධ්‍යාපනික මෙවලමක් බවටද අපේ මේ Eco garden එක පත්ව තිබීම ECO-V අපි ලද භාග්‍යයක්.

ලියෝ සාමාජිකයින් සඳහා වැඩසටහනක් පවත්වමින්

ව්‍යාපෘතියක් සඳහා කරුණු රැස් කිරීමට පැමිණි විදෙස් සිසුවෙක්

විදේශීය සිසුන් සඳහා පුහුණු වැඩසටහන්
ගස්ලබු, පේර, අඹ, ජම්බු, කාමරංකා, ලෙමන්, කෙසෙල්, චෙරි ආදී පළතුරු ගස්, කොළ ගෝවා, රතු ගෝවා, වැටකොළු, පතෝල, කරවිල, බණ්ඩක්කා, මෑ, දඹල, නීර ලීක්ස්, නිවිති, ගොටුකොළ, මුගුණුවැන්න, ලුණු විල, තෙබු, මස් බැද්ද, මිරිස්, තුල්සි, කරාබු නැටි, සේර, සැවැන්දරා, පැඟිරි, ආදී නොයෙකුත් එළවළු පලා සහ ඖෂධ ශාක බොහෝ ප්‍රමාණයක් මේ පුන්චි උයනට පිවිසුණු විට දැක බලාගන්න පුළුවන්. 

ගස් ලබු

ලෙමන්

රොසෙල් (මෙය රසවත් පානයක් ලෙස සකසා ගත හැක)

නිවිති
ගොරක තක්කාලි

නීර ලීක්ස් 

කොළ ගෝවා
ගොටුකොළ සහ මුගුණුවැන්නා පාත්ති

ලුණුවිල පාත්තියේ තණකොළ ගලවමින් (අපේ කාන්චනා මිස් කියන විදියට නම් පාත්තියක තණකොළ ගලවන එක එක්තරා ආකරයක භාවනාවක්)

මිරිස් පාත්තියක්

රසවත් පානයක් සකසා ගැනීම සඳහා නිල්කටරොළු මල් නෙලමින්

නිල් කටරොලු මල් උණුසුම් ජලයේ දමා මද වේලාවකින් මල් අයින් කර සීනි හා ලුණු ස්වල්පයක් දමා අවශ්‍ය නම් දෙහි බින්දු කිහිපයක්ද දමා රසවත් වර්ණවත් පානයක් සකසා ගත හැකිය. මල් වේලා කල් තබා ගැනීමෙන්ද මෙය සකසා ගත හැක.
තවත් රසවත් වර්ණවත් ඉතාමත් ගුණදායි පානයක් සකසා ගත් හැකි මල් වර්ගයක් (පොකුරු වද)

සොබා දහම වසත් සමය සඳනා නැවුම් මුහුණුවරකින් සැරසෙන මේ දිනවල අපේ මේ පුන්චි කාබනික උයනත් ඊට හරි හරියට ලක ලැහැස්ති වෙන එක නම් බලන්න ලස්සන දසුනක්. නුදුරේදීම අලුත් සමාජිකයන් බොහෝ දෙනෙකුට සිය නිවහන බවට පත් වීමට යන මේ වාසනාවන්ත භූමිය තවත් දිගු කාලයක් වැජඹේවා කියල ECO-V අපි ප්‍රාර්ථනා කරන්නෙ හදවතින්මයි.


- චාපා අමරසිංහ -

3 comments: