Monday, April 24, 2017

පොලිතීන් ගැටළුවට Eco Bricks

පොලිතීන් ගැටළුවට Eco Bricks

දිනෙන් දිනම ඉහළ යන පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අද වන විට සමාජයේ දැවැන්ත ගැටළුවක් බවට පරිවර්තනය වී ඇති අතර මෙයට හේතුව වශයෙන් පොලිතින් හා ප්ලාස්ටික් සම්පූර්ණයෙන් දිරාපත්වීමට වර්ෂ ගණනාවක් ගතවීම සඳහන් කළ හැකිය. එහෙයින් මේවා විවිධ අයුරින් ඔබේ දෛනික ජීවිතයේ හා අප අවට පරිසරයේ විශාල ගැටළු ඇති කිරීමට හේතු කාරක වේ. ප්‍රථමයෙන් එවැනි ගැටළු කිහිපයක් සැකෙවින් හඳුනාගනිමු.

පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය සෞඛ්‍යාශ්‍රිත ගැටළු බොහෝමයක් උත්පාදනය කිරීමට ඉමහත් දායකත්වයක් සපයන බව අවධාරණය කරගත යුතු කරුණකි. එනම් ආහාර පාන පිළියෙළ කිරීම, ගබඩා කිරීම ආදී ආහාර පාන සම්බන්ධ ඕනෑම ක්‍රියාවලියකට ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතා කිරීම භයානක පිළිකා තත්තවයන්ට අත වනා ආරාධනා කිරීමක් වැනිය. එසේම භාවිතයෙන් පසු මේවා නිසි කළමනාකරණයකින් තොරව බැහැරකිරීම හේතුවෙන් පසෙහි අන්තර්ගත පෝෂක කොටස් විනාශ  වන අතර බොහෝ විට කාණු පද්ධතීන් අවහිර වීම හේතුවෙන් නාගරික ප්‍රදේශයන්හි සුලු වර්ෂාපතනයකදී පවා ජල ගැල්ම තත්ත්වයන් ඇති වීමටද හේතු වේතවද සමහර පොලිතීන් වර්ග සූර්යාලෝකය නිසා කුඩා කැබලිවලට වෙන් වේ. (උදා: පොහොර උර ආදිය) මේවා කිසිඳු විටක නැවත පසක් නිර්මාණය වීමට දායක නොවන නිසා පසෙහි පොලිතීන් කුඩා අංශු ලෙස රැඳී තිබේ. එවැනි පොලිතීන් අංශු නැවතත් ශාක උරා ගැනීම නිසා හෝ සතුන්ගේ මාර්ගයෙන් හෝ මිනිසාගේ ශරීරයට ඇතුල් වේ. මේ හේතුවෙන්ද මිනිසා තුළ ඉතා භයානක රෝග සෑදීමේ ප්‍රවනතාවයක් පවතී.
අද බොහෝ දෙනා විසින් සිදු කරනු ලබන විශාල හානිකර ක්‍රියාවක් වනුයේ මෙම පොලිතීන් හා ප්ලාස්ටික් පිළිස්සීමයි. පවතින පාලන තන්ත්‍රයේ අඩුපාඩු නිසා කසළ කළමණාකරණය රට තුළ ඉතා දුර්වල තත්ත්වයක පවතින හෙයින් මහ ජනතාවට තැන තැන විසිරී ඇති කසළ, කළමණාකරණය කිරීමට පහසුම ක්‍රමය සියල්ල අතුගා එකතු කර පිළිස්සීමයි. මෙය Open burning නොහොත් විවෘත භූමියක් තුළ පිළිස්සීම ලෙස හඳුන්වනු ලැබේ. බොහෝ රටවල්වල කසළ පිළිස්සීම හෝ මොනයම් ආකාරයක ගිනිගොඩක් ගැසීම නීතියෙන් තහනම් කර ඇත්තේ මෙසේ පිළිස්සීමෙන් පිටවන දුම් පරිසරයට මෙන්ම සතා සිව්පාවන්ටද, මිනිසාටද අහිතකර බැවිනි. විශේෂයෙන්ම පොලිතීන් ප්ලාස්ටික් පිළිස්සීමෙන් නිකුත්වන්නේ ඩයොක්සීන් (C4H4O2) වායුවයි. මෙය ප්‍රභල පිළිකාකාරකයකි. එමෙන්ම මෙම  පිළිස්සීමේ ක්‍රියාවලිය තුළින් වායුගෝලයට නිකුත්වන මීතේන් හා කාබන්ඩයොක්සයිඩ් (CH4, CO2) ප්‍රමාණය විශාල අගයක් වන නිසා ගෝලීය උෂණත්වය ඉහළ යාමටද මෙය හේතු සාධකයක් වේ.

මෙවැනි අහිතකර තත්ත්වයන් සැලකිල්ලට ගෙන එම තත්ත්වය අවම කිරීම සඳහා සිදු කල යුතු නිවැරදිම හා සෞඛ්‍යාරක්ෂිතම ක්‍රියාමාර්ගය වනුයේ එදිනෙදා පරිහරණය සඳහා ප්ලාස්ටික්  වෙනුවට වීදුරු හා මළ නොබැඳෙන වානේ උපකරණ භාවිතා කිරීම, වෙළඳ පොළෙන් මිළදී ගන්නා ද්‍රව්‍යරැගෙන ඒම සඳහා පොලිතීන් මලු  භාවිතයෙන් වැළකී රෙදි වලින් නිමවන ලද මල්ලක් භාවිතා කිරීම ආදී විකල්පයන් සඳහා යොමු වීමයි.

මීටත් අමතරව වෙළඳපොළේ සිට ඔබේ නිවසට අනිවාර්යයෙන්ම පැමිණෙන සීනි, ලුණු, තුනපහ ආදී පොලිතීන් ඇසුරුම් හානියකින් තොරව බැහැර කරන්නේ කෙසේද? මෙම ද්‍රව්‍ය සතිපතා පැමිණෙන නගර සභාවේ කසළ ලොරියට බැහැර කිරීමෙන් සිදුවන්නේද ඉහත සඳහන් කරන ලද ආකාරයේම හානියකි. දිනපතා ඔවුන් වෙත ලැබෙන ටොන් විශාල ප්‍රමාණයක සියළුම කසළ නිසි ලෙස කළමණාකරණය ඉතා අපහසු කාර්යයක් වන අතර සඳහා ක්‍රමානුකූල ක්‍රියාපටිපාටියක් නොමැති නිසාවෙන් ප්‍රතිචක්‍රීකරණයට බඳුන් වන්නේ ලැබෙන කසළ ප්‍රමාණයට සාපේක්ෂව ඉතා අඩු ප්‍රමාණයකි. තෝරාගත් එක්  නියමිත භූමියකට නගර සභාව විසින් මෙම කසළ බැහැර කළද එය මැසි මදුරු උවදුර වර්ධනය වීමට හේතු කාරක වනවා මෙන්ම ඉන් වහනය වන දුර්ගන්ධය අවට ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍ය තත්ත්වයටද අහිතකර ලෙස බලපානු ලබයි. ඔබේ නිවසේ එකතුවන පොලිතීන් ඔබ විසින්ම නිසිලෙස කළමණාකරණය කරගැනීම මේ සඳහා සිදු කළ හැකි අගනාම විකල්පයයි. සඳහා ඔබට පරිසර හිතකාමී ගඩොලක් (Eco Brick) නිර්මාණය කළ හැකිය.
Eco bricks නිර්මාණය කරන්නේ කෙසේ ?


1) මේ සඳහා යොදා ගන්නා පොලිතීන් අපද්‍රව්‍ය වලින් තොර පිරිසිදු කර වේලාගත් ඇසුරුම් වියයුතුය. (අපවිත්‍ර හෝ තෙත් වූ පොලිතීන් යොදාගතහොත් කල් ගතවීමේදී ගඩොල තුල බැක්ටීරියා ප්‍රතික්‍රියාකිරීමෙන් එය පුපුරා යෑමකට ලක්විය හැකිය

2) පිරිසිදු වියළි පරිබෝජනයෙන් පසු ඉවතලන ප්ලාසිටික් බෝතලයක් ගෙන මෙම පොලිතීන් සිහින්ව නවා හෝ කුඩා කැබලිවලට කපා බෝතලය තුළට දැමිය යුතුය. (ප්ලාස්ටික් වතුර බෝතල් හෝ බීම බෝතල් එක් වරකට වඩා පරිහරණය පිළිකා ඇති කරන හෙයින් මෙවැනි දේ සඳහා යොදා ගැනීම සුදුසු වේ.)




3) බෝතලයට පොලිතීන් ඇසුරුම් ඇතුල් කර කෝටුවක ආධාරයෙන් හොඳින් තද කළ යුතුය. බෝතලයේ අඩිය විවිධ හැඩයෙන් යුක්ත නම් එම හිඩැස් වල පොලිතීන් හොඳින් තෙරපමින් බෝතලය පිරවිය යුතුය. නැතහොත් ගඩොලෙහි ශක්තිමත් බව රඳානොපවතී.



4) මෙසේ තෙරපමින් නිවසේ එදිනෙදා එකතුවන පොලිතීන් වලින් බෝතලය සම්පූර්ණයෙන්ම පිරවූ පසු ඔබට ශක්තිමත් ගඩොලක් නිර්මාණය කරගත හැකිය. මෙය සම්පූර්ණයෙන් පිරවීම සඳහා ඔබගේ නිවසේ එක්රැස්වන මාස කිහිපයකම පොලිතීන් අවශ්‍ය වනු ඇත. එහෙයින් මෙය මෙතෙක් ඔබ නිවසේ පැවති පොලිතීන් ප්‍රශ්නයට ඉතා හිතකර විසඳුමක් වනුයේ අවම ඉඩ ප්‍රමාණයක විශාල පොලිතීන් ප්‍රමාණයක් ගබඩා කර තැබිය හැකි නිසාවෙනි.







 මෙවැනි Eco Bricks කිහිපයකින් සිමෙන්ති, මැටි, ලණු, කම්බි ආදිය උපයෝගී කරගෙන ඔබට මේස, බංකු හෝ වෙනත් විවිධ නිර්මාණයන් කළ හැකිය. (විවිධ රටවල Eco Bricks යොදා ගෙන නිවාස පවා නිර්මාණය කරනු ලබයි)












මෙම ක්‍රියාදාමයන් අනුගමනය කරමින් රටේ දිනෙන් දිනම ඉහළ යන පොලිතීන් ගැටළුව අවම කිරීම සඳහා ඔබගේත් දායකත්වය ලබාදෙනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු.







(සැකසුම : චාපා එරන්දි)