Friday, March 4, 2022

පරිසර නිරීක්ෂණ අංක 4 - ලිං කටේ නිවහනට සතුරු ප්‍රහාරයක්….

 අපේ මෙත්තා උයනේ ළිං කටේ හදපු සන්නාලියා ගෙ නිවහන ගැන මම ලියපු කතන්දරේ ඔබට මතක ඇති නේ.  ඔන්න ඉතින් මම දැන් කියන්න යන්නේ ඒ කතාවෙ දෙවෙනි කොටස. දෙසැම්බර් මාසේ ළිඳ ඇතුලේ කොට දිඹුල ගහේ කොළ එකතු කරලා බට්ටිච්චි ගෙදරක් හදලා තියෙන බව දැන ගත්තහම පසිනිටයි සෝමපාලටයි ඒ ගැන සැලකිල්ලෙන් ඉන්න කියලා මම දිල්ලියට ආවා. එදා ඉඳන් ඔෆිස් එකට කතා කරන හැම දවසකම වගේ මේ ගෙදර ගැනත් අහන්න මම අමතක කළේ නෑ. බට්ටිච්චි අම්මයි, තාත්තයි කූඩුවට යන එන බව ඒ ගොල්ලන් මට කිව්වා. එයාලා හොඳින් ඉන්න බව ඒ නිසා අපි දැනගත්තා. පෙබරවාරි මාසේ මම ආයෙත් ලංකාවට ගියා.  ගිය ගමන්ම මම කරේ ලිඳ ඇතුලට එබිලා බට්ටිච්චි ගෙදර තත්ත්වය හොයා බලන එක. අම්මයි තාත්තයි හෝ ගාලා කෑම ගේනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් බබාලා ඉන්නවනෙ. මං ආයෙත් බට්ටිචි අම්මටයි තාත්තටයි කිව්වා බබාලා ඉගිලෙන්න පටන් ගන්නකොට ලිදටනම් වට්ට ගන්න එපා; පරිස්සමෙන් කරන දෙයක් කරන්න කියලා. 



පෙබරවාරි 19 වැනිදා උදේ මම සුපුරුදු පරිදි අපේ මෙත්තා උයනේ ඉන්නවා. මට කෝල් එකක් ආවා. ඒකට කතා කරන ගමන් එකපාරටම මට ඇහුනෙ බට්ටිච්චි නාදේ. ඒ එක්කම ලේන් හාමි කෙනෙකුත් කලබලෙන් කෑගහනව. සද්දෙ එන දිහා බලනකොට අපොයි දෙයියනේ!!! ලිං ගැට්ට උඩ ඇටිකුකුල් හාමිලා  එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්ම. මම දැන ගත්තා බට්ටිචි ගෙදරට අකරතැබ්බයක් කියලා. Phone  එකේ ඉන්න ගමන්ම මම ළිඳ ගාවට දිව්වා. අනේ අපොයි බට්ටිච්චි ගෙදර තිබ්බ අත්ත තවත් ළිඳ ඇතුළට පාත්වෙලා. ටිකක් විමසිල්ලෙන් බලනකොට මට ඇහෙනවා පුංචි පැංචෙක් ගෙ සද්දයක්. ළිඳ ඇතුලෙන් එන්නේ. හරියට පේන්නෙත් නෑ. මම තාමත් කෝල් එකේ. එකපාරටම මම කෑගහනව; අයියෝ පැටියා වතුරේ… පැටියා වතුරේ…කියලා. මගෙත් එක්ක phone එකේ එහා පැත්තෙ හිටපු කෙනාට මේ කිසි දෙයක් හිතාගන්න බෑ. එයා අහනව මොකද මොකද?? කියලා. මම කියනවා..බට්ටිචි ගෙදරට ඇටෑක් කරලා පැටියෙක් වතුරට වැටිලා, මම දැන් ලිඳට බහින්න ඕනේ එයාව බේරා ගන්න කියලා. මගේ යාළුවා කලබල වෙලා මම දැන් ළිඳට පනියි කියලා. එයා කියනවා ඔයා දැන් කලබල වෙන්න එපා. පොඩ්ඩක් වට පිට බලන්න කවුරුහරි උදව්වකට හොයා ගන්න පුළුවන්ද කියලා. ඔයා නම් ලිඳට පනින්න එපා කියලා. කොහොම හරි ඒ උපදෙස් අරගෙන මම phone call එක cut කරලා උදව් හොයාගන්න විදිහක් ගැන හිතුවා. එහෙට මෙහෙට දුවන ගමන් පසිනිට කිව්වා කඹයක් ගේන්න කියලා. කරදරයක් උනහම හැමදාම මුලින්ම මතක් වෙන අසල් වැසියා තමයි ජයන්ති.  හොඳ වෙලාවට ජානක ගෙදර හිටිය. “අනේ ජානක කුරුලු පැටියෙක් ළිදට වැටිලා ඉක්මනට එන්නකෝ” කලබල වෙලා එලියට ආපු ජානක “හා හා මං එන්නම් කකා හිටියේ පොඩ්ඩක් ඉන්න අත හෝදගෙන එන්නම් කියලා කියන අතරේ අපේ අයියා බාල්දියක් අරගෙන ආවා ලිඳට දාලා කුරුළු පැටියව ගන්න. හැබැයි මේ කාටවත් කුරුලු පැටියා පේන්නෙ නැහැ. සද්දේ විතරයි. මෙයාලා උකුස්සෙක් තරම් ලොකු කුරුළු පැටියෙක් හොයනවා වගේ තමයි බලන්නේ. අඟල් දෙකක් වත් නැති මේ කුරුලු පැටියා මට විතරයි පේන්නේ. අනිත් ඔක්කොම අහනවා කෝ කෝ කුරුලු පැටියා කෝ කුරුලු පැටියා කියලා. මම කෑගහනව බාල්දිය දාන්න එපා කුරුළු පැටියා ගිලෙයි, ලිදට බහින්න අතින් ගන්න කියලා. ඉස්සරහා ගෙදරට කෑගහලා ගෙනාවා ඉනිමගක්.  කිසිම දේකට නෑ බෑ කියන ජානක කිව්ව හරි දාමු ඉනිමග ලිඳට මම බහින්නම් ඉනිමග උස මදි නිසා කඹේ බැන්දා එකේ. කඹය අල්ලාගත්තා පසිනියි මගේ අයියයි. ලිඳේ පතුලට ඉනිමග හිර කරා. දැන් ජානක බොහොම අමාරුවෙන් කමාන්ඩෝ කෙනෙක් වගේ ලිඳ ඇතුලට බහිනවා.ඒ අතරේ අහනව කෝ කුරුළු පැටියෙක් පේන්න නෑනේ” ඔයා බහින්න පහලට කුරුලු පැටියා වතුරේ ඉන්නේ. මම කියනවා. සද්දෙ නං එනවා තමා ඒ උනාට පේන්නේ නෑ. මේ අතරෙ කුරුලු පැටියා ව හොයනව කුරුලු අම්මා උඩ තියෙන බලුදං ගහට වෙලා එයාගේ දුක කියනවා. හැම තත්පරයක්ම වටිනවා ජිවිතයක් වෙනුවෙන්….. 




කොහොම හරි අමාරුවෙන් ජානක ඉණිමගේ අන්තිම පඩියටත් බැස්සා. “කුරුලු පැටියෙක් නම් පේන්න පරඬැල් ගොඩක් නම් තියෙනවා” ජානක කියනවා. “ ආ හරි හරි ඒ පරඬැල් ගොඩේ තමා කුරුලු පැටියා ඉන්නෙ, ගන්න.. ගන්න..මම කියනවා. අපොයි මෙච්චර චුටි කුරුළු පැටියෙක්ව පෙනුනේ කොහොමද? කුරුළු පැටියව අතින් අරගෙන බාල්දියට දාන ගමන් ජානක කියනවා. පැටියා උඩට ආවා. පිහාටුවත් හරියට ඇවිත් නැති පැටිය දිහා බලන ගමන් මම හිතනවා. ආයෙත් මේ  කූඩුව ඔතන තිබ්බොත් අනතුර වැඩියි. අපි කුඩුවේ අත්ත කපලා  වෙන තැනක බඳිමු. ජානක බොහොම අමාරුවෙන් උඩට එන අතරේ මං ආයිත් එයාට වැඩක් දෙනවා. ජානක දැන් කුරුලු පැටියා කූඩුවෙන් තියන්න බෑ ඔය කූඩුවේ අත්ත කපලා දෙන්න. උඩට දුන්න කුරුලු කූඩුව ඇතුලේ තව පැටියෙක්. බබාලා දෙන්නාවම කූඩුවට දාලා කූඩුවත් එක්ක කොටදිඹුලා අත්ත බලුදං ගහේ බැන්දා . ඊට කලින් ලිඳෙන් ගොඩට ආපු ජානකට කුරුළු පැටියව පෙන්නුවා. ජානකගේ මූනෙ මල් හිනා මල් හතයි. 




මෙන්න බොලේ මෙච්චර අමාරුවෙන් කුරුළු පැටියව බේරගත්ත ජානක අපිට පින් දෙනවා….අනේ ඔයාලට හරිම පින් මටත් මේ හොඳ වැඩේට සහභාගී වෙන්න කතා කරාට කියලා. අපි හැමෝටම සතුටුයි බට්ටිච්චා බේරා ගැනීමේ මහා මෙහෙවුම සාර්ථක උන එක ගැන. උදේ 9.35ට පටන් ගත්ත කුරුළු පැටියා බේරාගැනීමේ  මෙහෙයුම නමයයි 9.55 වෙනකොට අවසන් වුණා. සියලු දෙනා සතුටින් විසිර ගියා!! 






එතකොට තමයි මට මතක් උනේ මම හිටපු කෝල් එක. ආපහු කෝල් එකක් අරගෙන මං මගේ යාළුවට කිව්වා කුරුළු පැටියාව බේරාගත්තා කියලා. එකපාරටම එයා කියපි…ඇති යාන්තම් ඔයා ළිඳට පැන්නෙ නෑනේ නේද? මම බයවෙලා හිටියේ ඔයාට තිබ්බ කලබලේට ඔයා ළිඳට පනින්න ඇති කියලා. චෑ ..චෑ …වස ලැජ්ජාවයි….මම ඉතින් කලබල උනා තමයි ඇයි ඉතින් ජීවිතයක්නේ…සෙල්ලංද ?? 


හොඳ වෙලාවට අපේ ළිද අඩි දාහතරයි ගැඹුර. හදිස්සියක් වුණත් බැහැ ගන්න නම් බැරි නෑ. කොහොම නමුත් ආයෙනම්  ලිඳ ඇතුළේ කොටදිඹුල ගහේ කූඩු හදන්න එපා කියලා බට්ටිචි හාමිලාට අවවාද කළා. බේරලා දුන්න කුරුලු කූඩුවට අම්මයි තාත්තයි හරි හරියට කෑම අරන් යනවා බල බලා අපි අපේ වැඩ කරන්න පටන් ගත්තා. අර ඇටිකුකුළු හාමිලා දෙන්න නම් මගහැරුනු ගොදුර ගැන හිත හිතා මටත් බැන බැන ඇති කියලා මම තනියම හිතුවා. මොනව කරන්නද පණ පිටින් කුරුලු පැටියෙක් අපේ ළිඳේ වැටිලා ඉන්නකොට අහක බලාගෙන ඉන්නයැ? ඒක නිසා ඉතිං අපි බේරගත්තා.  තරහ වෙන්න එපා ඇටි කුකුළු හාමිලා තව ඔය ඕනි තරම් කෑම තියෙන්නෙ…. 


Friday, January 21, 2022

පරිසර නිරීක්ෂණ 2022 (අංක 2)

ගෙදර කොස්සේ කෙඳි හොරු ගෙන ගියෝයා…


අපේ මෙත්තා උයනේ මි මැසි හාමිලාට තියලා තිබ්බ කළය පාන් කිරිති හාමි හොරකම් කළා කියලා මම මිට කලින් කියලා තියෙනවනේ. ඒ කළය තමාගේ ගෙදර කර ගත්ත පාන් කිරිති හාමි නොනවත්වාම අදාළ කාලයේදී කළ ගෙඩිය ඇතුලේ කෙඳි වලින් කුෂන් කරලා එකේ සනීපෙට දරු පැටවුන් හදා ගත්තා. දැනට අවුරුදු 6ක්ම එයා පදිංචි වෙලා හිටියේ මේ ගෙදර තමයි.





මම මේ සැරේ ලංකාවට ගියාම එයාගේ ගෙදරට පොඩ්ඩක් ඔලුව දාලා බැලුවා මොකද කලේ කට ගාව රෝස පාට කෙන්දක් දැක්ක නිසා. කොහොමටත් දෙසැම්බර්, ජනවාරි වල එයාලාගේ දරු පැටව් ගෙදර නෑ. ඉතින් කළේ  ඇතුලේ cushion එක සෑහෙන්න පරණ පාටින් තිබ්බේ. ටිකක් ලං වෙලා බලනකොට තව රෝස පාට කෙඳි පෙන්න තිබ්බා. මට වැඩේ තේරුණා…හප්පොච්චියේ…මෙයත් ඒ ගමන ස්වභාවික දේවල් වලින් ඈත්වෙලා චීන බඩු ගෙදරට ගෙන්න පටන් ගෙනනේ කියලා මම කළේ ඇතුලට අත දාල මුළු cushion එකම එලියට ගත්තා.






ඔන්න බලන්න එකේ තිබ්බ දේවල්. කළු පාට, නිල පාට සහ රෝස පාට plastic කෙඳි. මේවා අරගෙන තියෙන්නේ අපේ ගෙදරින් නම් නෙවෙයි කියල මට සීයට දාහක් විශ්වාසයි මොකද අපේ ගෙදර තියෙන්නේ “සිරිලක දේ සිරි සැප දේ” කියලා ගෙදරට අතුගාන්න ගේන ස්වභාවික පොල් කොහු වලින් හදපු කොසු. මෙයා මේ අරුමෝසම් කෙඳි ගෙනැල්ලා තියෙන්නේ අපේ මෙත්තා උයන වටේ තියෙන ගෙවල් වලින් කියලා මට හොඳටම විශ්වාසයි මොකද අපේ අසල්වැසියෝ එයාලගේ කුස්සියේ කුණු ගෙනත් දාන්නේ අපේ මෙත්තා උයනේ compost එකටනේ. මම නිතරම දැකලා තියෙනවා ඒ කුණු අතරත් මේ වගේ පාට පාට plastic කෙඳි. අපිට ඉතින් ඒවා අහුලලා ඉවරයක් නෑ. අපේ මෙත්තා උයනේ උයන් පල්ලා වන සෝමපාලනම් මේ වැඩේට හරිම අකමැතියි. “අපේ මිස්ට පිස්සුනේ මේ අනුන්ගේ කුණු අපි ගන්නේ මේවා අහුලන්න පුළුවන් තරමේ ඒවා නෙමෙයිනේ” කියලා මුමුණනවා. එයා කියන්නේ ඇත්ත තමයි.




ඒවගේ plastic කොහු පාවිච්චි කරන අය ආපහු පොල් කෙඳි කොහු වලට මාරු උනානම් කොච්චර හොඳද? කවමදාවත් දිරලා යන්නේ නැති මේ plastic කෙඳි නිසා කොච්චර අය විදවනවද? ඒවා compost වෙන්නේ නැති නිසා අලුතින් පසක් හැදෙන්නේ නෑ, ගස් වල මුල් අවහිර වෙනවා, ඒ නිසා ගස් හැදෙන්නෙත් නෑ . අල වර්ග එරෙන්නෙත් නෑ, සත්තු ඒවගේ පැටලෙනවා, කාලයක් යනකොට ඒවා micro plastic විදිහට ඇහැට පේන්නේ නැති පුංචි කෑලි වලට කැඩිලා යනවා. එහෙම වුනාම ඉතින් ජලය හරහා, ආපහු අපේ ඇගටම මේ කුඩා micro plastic එනවා. එතකොට ඉතින් තව තව cancer hospital හදන්න මහන්සි වෙන්නත් වෙන්නේ අපිටම තමයි.




ඒ නිසා වැඩිය හොඳ නැද්ද ඊළඟ සැරේ කොස්සක් ගන්න යනකොට ස්වභාවික පොල් කොහු වලින් හදපු ලී මිටක් තියෙන අපේම කොස්සක් ඔයාලත් ගත්තොත්? ප්‍රශ්නෙට විසදුම එතන තමයි.




එහෙම හිතන ගමන් මම පාන් කිරිති හාමිගේ cushion එක අරගෙන ගල් බැම්ම උඩ ඉඳ ගත්තේ අර අරුමෝසම් කෙඳි එකින් එක එකතු කරලා අයින් කරන්න. ඒ කෙඳි ටික ecobrickk එකට දාපුවහම අපි එතනින් ප්‍රශ්නයට විසදුමක් දෙනවා. පසිනි ඇවිල්ලා ඒක vidoo කරා. මම ගත්තු පින්තුර ටික ඔයාලට වැඩේ බරපතලම තේරෙන්නත් එක්ක ඔන්න share කරා. බලන්නකෝ…

රෝස පාට ටික ලේසියෙන් අයින් කරා 

මේ ස්වභාවික කෙඳි අතරේ තියෙන කළු plastic කෙඳි පෙන්නේ නැති තරම් 




අනේ හැමෝම පොල් කොහු කොස්සක් ගෙදරට ගන්න හොඳේ pleeeeeese….

Monday, January 17, 2022

පරිසර නිරීක්ෂණ 2022- අංක 1.

කෙටි නිවාඩුවකට ලංකාවට ගිය මම දැකපු දේවල් ටිකක් සහ සමහර අත්දැකීම් ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න සැරෙන් සැරේ ලියන්න හිතුවා. මේ පලවෙනි එක.

පරිසර නිරීක්ෂණ 2022- අංක 1.
ගස් නැති කොළඹ රටේ මයියොක්කා ගසද ගසක් විය මගෙ නිවහනට…

මෙහෙම කිව්වේ මම නෙමෙයි. මම එහෙම හිතුවා විතරයි. නමුත් Black Hooded Oriole නමින් ඉංග්‍රීසියෙන් කියන විද්‍යාත්මකව Oriolus xanthornus නමින් හදුන්වන එහෙමත් නැත්නම් සමහර අය වරකා මදුලා කියලා හදුන්වන අපි කවුරුත් දන්නා කහ කුරුල්ලා එහෙම හිතන්න ඇති කියලා මට හිතුනා. ඔයාල හැමෝම මෙයාව ගෙවත්තේ දැකලා ඇතිනේ? ගිය මාසේ දවසක මම අපේ මෙත්තා උයනේ බිම ඉගෙන මුකුණු වැන්න පාත්තියේ තණකොළ ගලවන ගමන් මෙයා ගේ කට හඩ ඇහුනා. ටිකක් අමුතුයි මගේ කන ගාවින්මයි ඇහුනේ. විපරම් කරලා උඩ බලනකොට මෙන්න බොලේ මෙයා මඤ්ඤොක්කා අත්තක හරියටම මගේ ඔලුවට උඩින්. ටිකක් විතර පුදුමයි මොකද එයාලා කලාතුරකින් තමයි එච්චරම පාතින් ඉන්නේ. මමත් එහෙමම සද්ද නොකර ඇග හොල්ලන්නෙත් නැතුව ඔලුව කරකවලා බලාගෙන හිටියා. හපොයි….තව පුදුමයක් මෙන්න බොලේ මෙයා එතන කුඩුවක් හදනවා. හප්පොච්චියේ…..මේකේ වෙන ගස් නැද්ද මෙයාට මේ හැමෝම යන එන අඩි පාරේ අතේ උසින් තියෙන මඤ්ඤොක්කා කරුවක ගෙදර හදන්න?? මම එහෙම හිතනවා. හ්ම්ම් කමක් නෑ එයාටම මෙතන හරි යන්නේ නෑ කියලා හිතුනහම වෙන තැනකට යන්නේ නැතැයි කියලා මමත් මගේ වැඩේ කරගෙන ගියා.



පහුවදා බලනකොට තව ටිකක් හදලා. මම ඉතින් එතනින් එහෙට මෙහෙට යන්න එපැයි අපේ වැඩ ටික කරගන්න. ඒත් මෙයා නෙමෙයි බය වෙන්නේ. සාමාන්‍යයෙන් උස කොස් ගස්වල හෝ අඹ ගස්වල කූඩු හදන කහ කුරුල්ලා කෘමි සතුන් හෝ ඉදුණ පලතුරු ආහාරයට ගන්නවා. බොහෝ වෙලාවට උස ගස් තියෙන ගෙවතු වල නිතරම දකින්න පුළුවන් අලංකාර අයෙක්. පිරිමි පක්ෂියාගේ කළු පාට හිස ඉතා තද කළු පාටින් දකින්න පුළුවන් නමුත් ගැහැණු සතා ඊට වඩා ලා කළු පාට හිසක් සහිතයි. සාමාන්‍යයෙන් බිත්තර දෙකක් දාන මේ පක්ෂියා කුඩු හදන්නේද උස ගස් වල කරුවක කෝප්පයක ආකාරයට. මිට කලින් මෙයා අපේ අඹ ගහක කුඩුවක් හැදුවා ඒත් හරිම පහලින් (ඒකෙ පින්තුරයක් ගයනි Gayani Dissanayaka අරගෙන් තිබ්බා, මම ඒකත් ඔයාලට බලා ගන්න post කරනවා).




අවාසනාවකට වගේ ඒ කූඩුව ඇටි කුකුල් හාමි කඩලා බිත්තර කෑවා. මේ පාරවත් එයාගේ පවුල රැකේවා කියලා ප්‍රර්ථනා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් අපිට නෑනේ. කහ කුරුළු හාමි මඤ්ඤොක්කා ගහේ කුඩුවේ ඉන්න පින්තුරේ පසිනි එවලා තිබ්බා.




ඒ කියන්නේ එයා වැඩේ අතැරලා නෑ එතන ගේ හදන්න හොදයි, අපෙන් කරදරයක් නැති බවත් හිතෙන්න ඇති. එයාට හොද නම් ඉතින් අපිට මොකෝ…?? තාම මඤ්ඤොක්කා අල එරිලත් නැති නිසා ගහ ගලවන්න ඕනෙත් නෑනේ !

Friday, August 30, 2019

රුව ගුණ වඩවන ECO-V ගෙවත්තේ පලා වර්ග

රුව ගුණ වඩවන ECO-V ගෙවත්තේ පලා වර්ග


ECO-V අපේ සුවිශේෂීම අංගය තමයි අපේ කාබනික ගෙවත්ත. ඒ පිළිබඳව වැඩි දුර කියවන්න. http://thirasi.blogspot.com/2018/03/eco-v.html


ඉතින් අපේ ගෙවත්තේ තියන පලා වර්ග කිහිපයක් පිළිබඳව කෙටි සටහනක් තමයි මේ. පලා වර්ගවල විටමින් C වලට අතිරේකව පෝෂණ පදාර්ථ රැසක් පවතී. යකඩ, කැල්සියම්, පොස්පරස්, මැංගනීස්, පොටෑසියම, සින්ක් වැනි ඛනිජ ද්‍රව්‍යයන්ගෙන්ද පලා වර්ග පොහොසත්‍ ය. මෙරට ළමා පරපුර අතරින් මන්දපෝෂණයෙන් පෙළෙන පිරිසක් තවමත් දක්නට හැකි බව සංඛ්‍යා ලේඛන දත්ත මගින් තහවුරු වන අතර ඊට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ යකඩ ඌනතාවයයි. ඒ සඳහා සාර්ථකම විසඳුම ලෙස පලා වර්ග ආහාරයට ගැනීම නම් කල හැකිය. 
අපගේ අතීත මුතුන් මිත්තන් ඔවුන් ජීවත් වූ ගැමි පරිසරයෙන් ඉතාමත් සුලබව සොයා ගත් පලා වර්ග රාශියකි. ඔවුන්ගේ ශරීර සෞඛ්‍යය යහපත් තත්ත්වයෙන් තබා ගැනීමටඑය මහඟු දායකත්වයක් සපයන්නට ඇත. පහත සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ ඔබට පහසුවෙන්ම සොයා ගත හැකි ඉතාමත් ගුණදායක පලා වර්ග කිහිපයකි. 


ගොටුකොළ


ගොටුකොළ ආහාරයට ගැනීමෙන් බුද්ධිය සහ මතක ශක්තිය වර්ධනය වන බව සමාජයේ බෙහෙවින් ප්‍රසිද්ධ සංකල්පයකි.  උගුරේ සෙම කපා හැරීමටද, කටහඬ මිහිරි වීමටද, පීනස් රෝගීන්ටද, පණු අමාරුවටද ගොටුකොළ ඉතාම සුදුසු ආහාරයක් බව සඳහන් වේ. ඇස් පෙනීම වර්ධනය, තරුණ බව රැක ගැනීම, හිසකෙස් නීරෝගීව දීප්තිමත්ව තබා ගැනීම, සිරුරේ අනවශ්‍ය මේදය ඉවත් කිරීම, රූප සොභාව වර්ධනය, යහපත් නින්දක් ලැබීම, කට හා තොල් පැලීම සුව කිරීම සහ ලේ වැඩීමටත් ගොටුකොළ සුදුසු වන අතර මෙහි යකඩ ද බහුලව අඩංගු වේ.

මුගුණුවැන්නා


මේවා ඇස් පෙනීම දුර්වල අයට සහ ඇසේ සුද මතු වීම වැළැක්වීමට ඉතා ගුණදායී වේ. මළබද්ධය සුව කිරීමට සුදුසු වන අතර ලේ වැඩීම සහ ලේ පිරිසිදු කරයි. කැරොටීන්, යකඩ සහ කාබෝහයිඩ්‍රේට් ද සැලකිය යුතු ප්‍රමාණ වලින් අඩංගු වේ.

කතුරුමුරුංගා 


ඇස් පෙනීමට, අක්ෂි රෝග මර්ධනයට, පීනස් රෝගයට, මළබද්ධය දුරු කිරීමට, හිසකෙස් වර්ධනයට, තොල් හා දිව පැලීම, කට වණ වීම සුව වීමට සහ ශරීරයේ විශ නැසීමට දායක වේ.  එමෙන්ම පිළිකා වැළඳීම මර්ධනය කරන අතර ආහාර දිරවීමට උදව් කරමින් ශරීරයට ප්‍රමාණවත් යකඩ ප්‍රමාණයක් ලබා දේ.

නිවිති



නිවිති කොළ යොදා දෙල් ආදී උෂ්ණ ආහාර පිසීමෙන් එහි ඌෂ්ණාධික බව අඩුවන අතර නිවිති කොළයේ ඇති සම්පූර්ණ පෝෂණ ගුණය ලබා ගැනීමට නම් හොඳින් සෝදා විනාඩි 3ක් පමණ හුමාලයේ තම්බා ලුණු හා ගම්මිරිස් කුඩු ඉස ආහාරයට ගැනීම ඉතා සුදුසු වේ. සිරුර සිසිල් කර ලේ වඩවමින් ඉහළ යකඩ ප්‍රමාණයක් ලබා දේ. 

කුරිඤ්ඤං කොළ


අංශභාගය, අධික රුධිර පීඩනය, ආතරයිටීස් හා දියවැඩියාව යන රෝගාබාධ සඳහා ඖෂධීය ගුණයක් මේවායේ ඇති බව සඳහන් වේ. 

තෙබු කොළ


තෙබු කොළ වල රුධිරයේ සීනි මට්ටම හා කොලොස්ටරෝල් පාලනය කිරීමේ ඖෂධීය ගුණයක් තිබෙන බවට විශ්වාසයක් තිබේ.

මුරුංගා කොළ


මුරුංගා කොළ වල විටමින් A, විටමින් C, යකඩ සහ කැල්සියම් බහුලව අඩංගු වේ. මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් අස්ථි ශක්තිමත් වීම, රුධිරය පිරිසිඳු වීම, ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි වීම සහ සිරුරේ දුර්වලතා මඟ හැරී යාම වැනි වාසි රැසක් අත් කර ගන්න පුළුවන්.

නීර ලීක්ස්


ඉතින් ඔබේ නිවසේ පුංචි ඉඩකඩක නිවසේ සාමාජිකයන්ගේ පරිබෝජනයට අවශ්‍ය ප්‍රමාණයට වස විසෙන් තොරව පලා වර්ග කිහිපයක් හෝ වගා කරගෙන සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට මග පාදා ගන්න ඔබටත් හැකියි.  




Thursday, July 25, 2019

ගුඩ් මාර්කට් එකේ අපි

ගුඩ් මාර්කට් කියන්නෙ ව්‍යවසායකයින් නව නිර්මාණ කරුවන් පරිසර හිතකාමී තිරසාර නිශ්පාදන සමග ජනතාව වෙත හඳුන්වාදෙනු ලබන වටිනා කරළියක්. 2013 වර්ෂයේ සිට අද දක්වා ECO-V අපි ගුඩ් මාර්කට් සමග අධ්‍යාපනික සහකරුවෙක් ලෙස කටයුතු කරනු ලබනනේ මෙය ජනතාව තුළ පරිසරහිතකාමී ආකල්ප වර්ධනය කළ හැකි අපූරු ස්ථානයක් වන නිසාවෙන්මයි. දැනුවත් කිරීම් වලට අමතරව ප්ලාස්ටික් පොලිතීන් සහ කෘතිම විශ සහිත පරිබෝජන නිශ්පාදන වෙනුවට ඇති ස්වභාවික විකල්පද මෙහිදී අපි ජනතාවට හඳුන්වා දෙනු ලබනවා. ඉතින් මෙම වසර තුළදී ECO-V අපේ ගුඩ් මාර්කට් ක්‍රියාකාරකම් කිහිපයක් පිළිබඳව සඳහන් කරන්නයි මේ සූදානම. 


ECO-V අපි වසර ගණනාවක් මුළුල්ලේ කතා කරන ප්‍රධාන මාතෘකාවක් තමයි Ecobricks. ඉකෝ බ්‍රික්ස් එහෙමත් නැතිනම් පරිසර හිතකාමී ගඩොල් කියන්නෙ අප භාවිත කරන ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි පොලිතීන් අපගේ නිවසේදීම කළමණාකරණය කරගත හැකි අපූරු ක්‍රමවේදයක්. (Ecobricks පිළිබඳව කියවන්න) http://thirasi.blogspot.com/2017/04/eco-bricks.html
https://www.facebook.com/groups/242330276319852/?epa=SEARCH_BOX

අපි සෑම සෙනසුරාදාවකම මෙම Ecobricks පිළිබඳව රූප මාධ්‍යයෙන් සැකසූ දැනුවත් පිරීමේ පුවරු සහ නිර්මාණය කරන ලද Ecobricks ප්‍රදර්ශය කිරීමෙන් මෙම පණිවුඩය ජනතාව වෙත ළඟා කරවීමට උත්සහ කරන්නේ අදවන විට මෙම ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි පොලිතීන් විශාල ලෙස පරිසරයට හානිදායක වී ඇති බැවින්. මෙහිදී වයස් භේදයකින් තොරව ඒ ඒ වයස් මට්ටමට ගැළපෙන අයුරින් දැනුවත් කිරීම් සිදුකරනු ලබනවා. ඒ වගේම ඔබ සාදනු ලබන Ecobricks ඔබට අවශ්‍ය නොමැති නම් ඒවා ගෙනැවිත් ගුඩ් මාර්කට් ECO-V කුටියට භාරදෙන්නත් ඔබට පුළුවන්. මීට අමතරව ප්ලාස්ටික් සහ පොලිතීන් නිවසට පැමිණීම අවම කරගන්න ආකාරයත් ඒ සඳහා ඇති විකල්ප අවස්ථාත් 10 R සංකල්පය හරහා අපෙන් ඔබට ඉගෙනගන්න පුළුවන්. 


ප්ලාස්ටික් පොලිතීන් නිසා මරණයට පත්වන සතුන් පිළිබඳව ඉගෙනගනිමින්

පුංචි අතින් ECO-V එකට Ecobricks






Ecobricks වලින් සාදන ලද බංකුවක් මත
ගුඩ් මාර්කට් ECO-V කුටියේ තවත් එක් විශේෂ අංගයක් තමයි Nature Kids. මේ මගින් අපි කුඩාදරුවන්ගේ පරිසරයට ඇති ඇල්ම සහ දැනුම වර්ධනය කිරීමට කටයුතු කරනවා. ඔවුන්ට පරිසරය විඳින්න අපෙන් ඉගෙන ගන්න පුළුවන්. මේ එවන් වැඩසටහනක්. ECO-V අපේ ගෙවත්තෙ ඉන්න සමනල්ලු ගැන අපි ඔවුන්ට විටින් විට තොරතුරු අරගෙන යනව. (ECO-V කාබනික ගෙවත්ත ගැන කියවන්න)  http://thirasi.blogspot.com/2018/03/eco-v.html

ඔවුන්ගේ පින්තූර, ජීවන චක්‍රයේ රූප සටහන් වගේම අපි ළඟ තියෙන සමනලුන්ගේ ධාරක සහ පෝෂක ශාකත් ඔවුන්ට අපෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමන් ඉගෙනගත්ත සමනල යාලුවගෙ චිත්‍රයක්  ඇඳල සතුටු වෙන ගමන් තමන්ගේ වත්තේ පුංචියට සමනල උයනක් හදාගන්න අවශ්‍ය නම් ඒ දැනුමත් අපෙන් ලබාගන්න පුළුවන්. 


ක්‍රිම්සන් රෝස් වඩාත්ම කැමති කන්කුඹල පැල 
ගුඩ් මාර්කට් EC0-V කුටියේ ප්‍රධාන මාතෘකාව අපේ රටේ උත්සව සමයට වෙනස් වෙනවා. සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය පරිසර හිතකාමී ලෙස වගේම සෞඛ්‍ය සම්පන්න ලෙස ගත කරන්නෙ කොහොමද කියල අපි දැනුවත් කලේ මේ විදියට. 




අවුරුදු සමයට නෑගම් යද්දි අරගෙන යන පැකට් කරපු කෘතීම ආහාර වල තියෙන රසායනික ද්‍රව්‍ය පිළිබඳව, උත්සව සමයට අපේ ගෙදරට එන පොලිතීන් අවම කරගන්න ආකාරය සහ මේවාට ඇති විකල්ප පිළිබඳව මෙන්ම අපේ උත්සව තවත් සත්ත්ව ජීවිතයකට හානියක් නොවන ලෙස සමරන ආකාරය පිළිබඳව අපි මෙලෙසින් දැනුවත් කලේ මෙලෙසින්.

ගුඩ් මාර්කට් ECO-V කුටියෙ අනෙක් සුවුශේෂීම දේ තමයි ඔබටත් පුළුවන් අපිත් එක්ක එකතු වෙලා ස්වේච්ඡාවෙන් මෙම දැනුවත් කිරීම් වලට සම්බන්ධ වෙන්න. මේ එවන් පාසල් ශිෂ්‍යාවන් පිරිසක්.ඔවුන් පරිසර නියමුවන්. ඔවුන් කෘතීම පාන වර්ගවල අහිතක බලපෑම් සහ ඒ සඳහා හඳුන්වා දිය හැකි ස්ව්භාවික පාන වර්ග පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කලේ මෙලෙසින්. 

ගුඩ් මාර්කට් දැනුවත් කිරීමට ප්‍රථම ඔවුන් ECO-V ආයතනයට පැමිණ එම විශය පිළිබඳව දැනුවත් වීම
පැකට් කරන ලද ආහාර ඇසුරුම් වල ඇති E අංක පිළිබඳව දැනුවත් වීම
ඔවුන් විසින් සකසන ලද දැනුවත් කිරීමේ පුවරු

ගුඩ් මාර්කට් දැනුවත් කිරීම අතරතුර
ප්‍රදර්ශනය සඳහා සකසන ලද රතු පොකුරු වදමල් බීම සහ නිල් කටරොළු මල් බීම
ස්ව්භාවික පානයන්ගේ රස බලන පිරිසක් 
මේ ගෘහස්ථ වායු දූෂණය පිළිබඳව කතා කරන අවුරුද්දක්. ඉතින් ECO-V සභාපතිනී කාන්චනා වීරකෝන් ගුඩ් මාර්කට් පරිශ්‍රය තුළදී ගෘහස්ථ වායු දූෂණය වන ආකාර පිළිබඳව, එය අවම කරගන්නා විදිය මෙන්ම ඒ සඳහා හඳුන්වා දිය හැකි ගෘහස්ථ වායු පිරිසිදුකාරක ශාක පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කලේ මේ ආකාරයෙන්. 


වායු පිරිසිදුකාරක ශාක
ඉතින් ඔබටත් පුළුවන් සෑම සෙනසුරාදා දිනකම උදෑසන 10 සිට සවස 5 වනතුරුම රේස් කෝස් හි ගුඩ් මාර්කට් පරිශ්‍රයේ ECO-V කුටියට පැමිණ පරිසර හිතකාමී සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පිළිබඳව තව දුරටත් ඉගෙන ගන්න. ඒ වගේම අපත් සමග ස්වේච්ඡාවෙන් සම්බන්ධ වී ඔබ ලබා ගන්නා දැනුම  තවත් පිරිසක් සමග බෙදා හදා ගන්නත් ඔබට පුළුවන්.

 

සැකසුම: චාපා එරන්දි