2001 ECO - V ආරම්භ වන විට කිසිම වෙලාවක ECO කියන වචනය ප්‍රසිද්ධියට පත් වෙලා තිබුනෙ නැහැ. පරිසර හිතකාමී කියන නම ECO - V එකට දෙන්න පවා මුල් වුණේ මෙවැනි ඉල්ලුමක් ඒ දිනවල ලංකාව තුළ නොතිබීමයි.. පරිසර හිතකාමී ස්වේච්ඡා සංවිධානය ලෙස මෙම ස්වේච්ඡා යන වචනය යොදා ගනිමින් ECO - V ආරම්භ කිරීමට මුල් වූයේ ශ්‍රී ලාංකික සමාජය තුළ ඉතාමත් ගුණ යහපත් ලක්ෂණයක් ලෙස පැවති මේ ස්වේච්ඡාවෙන් වැඩ කිරීම ටිකෙන් ටික අභාවයට යමින් පැවතීමත් එය නැවත තරුණ පරම්පරාව අතර ප්‍රචලිත කිරීමේ විශාල අවශ්‍යතාවයක් අපට තිබුණු නිසාත්ය. ඒත් සමගම ඒ ස්වේච්ඡාවෙන් වැඩ කරන පිරිස පරිසර හිතකාමීව සිතන්න පුරුදු කිරීම අපේ මූලික අරමුණක් වුණා. ඒ නිසාම ECO - V සංවිධානය බිහි වුණා. එහි නම "පරිසර හිතකාමී ස්වේච්ඡා සංවිධානය" ලෙස සිංහලෙනුත් Eco Friendly Volunteers ලෙස ඉංග්‍රීසියෙනුත් අපි නම් කළා.ඉතින් එදා මෙදා තුර ECO - V වසර 17ක් සම්පූර්ණ කරල අද වන විට රටේ ECO කියන වචනය කොළ පාට ගාපු බිල්ඩිමකටත් පොල් අත්තක් එළපු බත් කඩේකටත් යොදාගන්න පටන් අරගෙන තියෙනව. එසේත් නැතිනම් මුලු බිල්ඩිමම කොන්ක්‍රීට් කරල ඒකෙ කොළ පාට ගාල ඒක ECO කියල නම් කරන්නත් මිනිස්සු පෙළඹිල තියෙනව. ඒ නිසා දැන් අපි දකින මේ ECO කියන වචනය ගොඩාක් දූෂණයට පත් වුණු වචනයක් ලෙසත් එහි මූලික අරමුණ හරියට තේරුම් ගත්තෙ නැති පිරිසක් විසින් එය Abuse කරන මට්ටමේ සිටින බවත් අපට වැටහිලා තියෙනව.
ඒ කෙසේ වෙතත් මීතොටමුල්ලේ සිද්ධියත් සමග මිනිස් ජීවිත ගණනාවක් අපිට අහිමි වුණා ඉතාම කැත විදියට, මොකද කුණු ගොඩකට යටවෙලා මැරෙන්න තරම් පව් කරපු ජනතාවක් ඉන්න රටක් ලෙස ලේබලයක් වැදුණා. ඒ වගේම ඒ කුණු කාගෙ කුණුද? ඒ අපේම කුණු. හරියට මේක අපි දකින්නෙ සුනාමියක් වගේ. අපි මේ මිහිමවට කරන විනාශය මිහිමවට දරාගන්න බැරි වෙන වෙලාවට ආපහු අපටම ඒ විනාශය ඇති කරනව. ඇය මේක කැමැත්තෙන් නෙමේ කරන්නෙ. කරන්න වෙන දෙයක් නැති නිසා. ඉතින් 2004 වසරෙදි අපිට ආපු සුනාමිය හා සමාන ව්‍යවසනයක් ලෙසයි ගිය වසරේ ආපු ගං වතුරත් අපි දකින්නෙ. ඒ වගේමයි මේ වසරේ මේ කුණු ගොඩ නාය යාමත් සමග සිද්ධවුණු ව්‍යවසනය. කොහොම නමුත් කොළඹ අග නගරය එක්ක වපසරියක පමණක් සිද්ධවුණු මේ විනාශය රට පුරාම කතිකාවකට ලක් වෙලා තියෙන මොහොතක ECO - V පරිසර සංවිධානයක් ලෙස, අපට අහිංසක ආඩම්බයක් ඇති වෙලා තියෙනව අපි වසර 17ක් පුරාවට කතා කරපු මේ බොහෝ සංසිද්ධීන් දැන් Face book, twitter, instagram වැනි සමාජ ජාල හා වෙනත් විවිධ වෙබ් අඩවි තුළින් හෝ මිනිසුන් නැවත නැවතත් කියන්න පෙළඹී තිබීම පිළිබඳව. පරිසර හිතකාමී වීමේ අගය මිනිසුන්ට වැටහිලා තියෙනව. වසර 17ක් පුරාවට අප කතා කරපු දේ ක්‍රියාවෙන් ඔප්පු කරපු සංවිධානයක්. මහා ලොකුවට ප්‍රසිද්ධිය හඹා ගියෙ නැතත් අපි පුහුණු කරපු තරුණ දරුවො දන්නව මේ පරිසර හිතකාමී වීම සහ අපි ඒකෙන් අදහස් කළේ මොකද්ද කියල. ඒ වගේම අපිත් එක්ක විවිධ විදියට සම්බන්ධ වුණු අය අපිට කෝල් කරල කියනව අපි මෙතෙක් කල් කියපු දේ තමයි හරි දැන් ඒක මිනිස්සුන්ට වැටහිලා තියෙනව කියල. ඉතින් ඒ නිසයි මම කිව්වෙ අපිට අහිංසක සතුටක් තියෙනව කියල මිනිස්සුන්ට මේක වැටහෙන්න පටන්ගැනීම පිළිබඳව. නමුත් ඒ එක්කම මහා දුකක් දැනෙනව මිනිස්සුන්ට මෙය වැටහෙන්න කුණු කන්දක් නාය යන්නම අවශ්‍ය වුණ එක පිළිබඳව.
අපි හැමදාම කිව්වෙ අපි මිහි අම්මට කරන හානියක් තියෙනව නම් අනිවාර්යයෙන්ම කවදා හෝ අපටම නැවත එය විඳින්න සිද්දවන බව. ඒ නිසාම තමයි පරිසර හිතකාමී ස්වේච්ඡා සංවිධානය බිහිවුණු දවසේ ඉඳන්නම අපි කතා කරපු ගොඩාක් දේවල් වල පරිසර හිතකාමී පුරවැසියාගේ වටිනාකම පිළිබඳව සඳහන් කළේ. Individual responsibility අපේ inner change එක, එහෙමත් නැත්නම් අභ්‍යන්තරයෙන් අපි වෙනස් වී එය ක්‍රියාවට නැංවූයේ නැතිනම්, අපි සිතෙන්ම පරිසර හිතකාමී වුණේ නැතිනම් අපිට මේ සමාජය පරිසර හිතකාමී කරන්න බැහැ. එදා කිව්වෙ තමන් පරිසර හිතකාමී වෙලා තමන්ගෙ අත් දෙකෙන් තව දෙන්නෙක්ව අල්ලගන්න ඒ දෙන්නව පරිසර හිතකාමී කරන්න ඒ හොඳටම ඇති ඔබගේ වගකීම ඉටු කළා කියල වෙනව. ඉතින් අද අපිට කියන්න තියෙන්නෙ අපි පරිසර හිතකාමී වෙන්න ඕනෙ. අපේ පවුල පරිසර හිතකාමී කරන්න ඕනෙ අපේ අසල්වැසියන් පරිසර හිතකාමී කරන්න පුලුවන් වෙන්න ඕනෙ කියල. එහෙම කරන්න බැරිනම් අඩුම තරමෙ පවුල පරිසර හිතකාමී ලෙස ජීවත් වෙනව නම් ඒකත් ලොකු දෙයක්. දැන් කුණු ප්‍රශ්නෙදි අපිට මේක හොඳට ඔප්පු වෙනව. තමන්ගෙ කුණු තමන් කළමණාකරණය කළේ නැත්නම් ඒක අසල්වැසියන්ට ප්‍රශ්නයක්. ඒ සල්වැසියන් තම්න්ගෙ කුණු කළමණාකරණය කළේ නැත්නම් ඒක නගරසභාවට ප්‍රශ්නයක්. ප්‍රාදේශීය සභාවට ප්‍රශ්නයක්. අන්න ඒක තමා කුණු ගොඩක් වෙන්නෙ. එතකොට තමන්ට අද දවසෙ සතුටු වෙන්න පුළුවන් නම් තමන්ගෙ කුණු මහ නගර සභාවට යන්නෙ නැහැ, කුණු කන්දට යන්නෙ නැහැ කියන සතුට ගන්න පුලුවන් අද දවසේ කීයෙන් කී දෙනාටද? ඒ සතුට විඳින පිරිසක් ලෙස ECO - V අපි ඉන්නව. එදත් අපි ඒ සතුට වින්ද. අපි අදත් ඒ සතුට වැඩි වැඩියෙන් විඳිනව. ඒක නිසයි තමන්ගෙ කසළ කළමණාකරණය කර ගැනීමේ වගකීම තමන්ට මිසක් ඒක නගර සභාවට අයිති දෙයක් නෙමෙයි කියන එක අපි කියන්නෙ. ඒ නිසා මේ අවස්ථාවෙ අපි නැවත නැවත මතක් කරනව පරිසර හිතකාමී වීම කියන්නෙ මොකද්ද කියල.
අපි 2001 අපේ පළවෙනි පත්‍රිකාවෙ කිව්වෙ මුදලාලි නොමිලේ දෙන ශොපින් බෑග් එකට එපා කියන්න බය වෙන්නෙපා කියල. ඒක අදටත් වලංගුයි. කී දෙනෙක් ඒ ශොපින් බෑග් එකට එපා කියල තමන්ගෙ ශොපින් බෑග් එකට, තමන් අරන් යන මල්ලට බඩු දාගෙන එනවද කියල. Super Market හරහා අපි කොයිතරම් අරගලයක් කළාද එක එළවළුවකට එක සිලි බෑග් එක ගානෙ දෙනව වෙනුවට තමන් ගෙනියන එක බෑග් එකකට හැම දේම දාගෙන ඒකට Sticker එක එළියෙන් අලවල ගන්න පුළුවන් කියල. කිසිම ශොපින් බෑග් එකක් Super Market එකෙන් නොමිලේ ගන්නෙ නෑ කියල අපි ඔප්පු කරලත් පෙන්නුව. ඉතින් ඒක අද කොයිතරම් අපිට වළංගුද? නමුත් අපිට Super Market වලින් කියන කතාව තමයි මිස්ල ඔහොම කළාට අපෙන් කී දෙනෙක් බෑග් කීයක් ඉල්ලනවද , බැනල යනව බෑග් එකක් දුන්නෙ නැතිනම් , එක බෑග් එකක් නෙමේ දෙකක් තුනක් ඉල්ලගෙන යනව කියල. එහෙම කරපු අය අද දෙසරයක් හිතල බලන්න තමන්ගෙ ඒ ශොපින් බෑග් එක ගිහිල්ල මීතොටමුල්ලෙ කුණු කන්දට වුණු දේ. කරදියාන හෝ වේවා දොම්පෙ හෝ වේවා හෝමාගම වේවා කොහේ හරි කුණු ගොඩක එකතු වෙලා තියෙන්නෙ තමන් ඒ නොමිලේ ඉල්ලන් ගිය ශොපින් බෑග් එක නෙමේද? ඔය කුණු කඳු එකතු වෙන්නෙ නැහැ තමන්ගෙ ශොපින් බෑග් එක ඉවත දැම්මෙ නැතිව හිටිය නම්. කුණු කන්දෙ තියන කුණු ටික දිරල යනව ඉතාම ඉක්මනින් පොලිතීන් ප්ලාස්ටික් වැනි නොදිරන ද්‍රව්‍ය කුණු කන්දෙ නොතිබ්බනම්. ඒක වුණේ නැති නිසා තමයි ඔය විදියට නාය ගියේ. ඉතින් අද ඉඳන්වත් නොමිලේ දෙන ශොපින් බෑග් එකට එපා කියනව කියන අධිෂ්ඨානය කීයෙන් කී දෙනෙක්ට ගන්න පුලුවන්ද? නමුත් තමතන්ට ඒ අධිෂ්ඨානය ගන්න වැඩිකල් නොලැබේවා කියල අපි ප්‍රාර්ථනා කරනව මොකද අපි මේ වෙලාවෙ රජයට බලකරමින් කියා සිටින්නෙ මේ නොමිලේ දෙන ශොපින් මල්ල තහනම් කළ යුතුමයි කියල. ඒ වගේම ඉතාම ලාබෙට ගන්න පුළුවන් Lunch Sheet එක තහනම් කළ යුතුයි කියන තැන ඉන්නෙ අපි. ඒ වගේම හැම ජරා බීමක්ම දාල දෙන, වතුර ටික පවා දාල දෙන පෙට් බෝතලය තහනම් කළ යුතුයි කියන තැන අපි ඉන්නෙ. ඒ වගේම තමා කිසිම වැඩකට නැති පරිසර හානිය උපරිමෙන්ම සිදු කරන අපේ සෞඛ්‍යයට ඉතාම තර්ජනයක් එකතු කරන පිළිකා කාරක ඇති කරන බෙන්සීන් සහ ස්ටයිරීන් කියන මූල ද්‍රව්‍ය අපේ ඇඟට එකතු කරන, කෑම එක දාල වහල දෙන ස්ටයිරෆෝම් කියන රිජිෆෝම් පෙට්ටිය එහෙමත් නැතිනම් කොත්තුව දාල දෙන පිඟාන, බීම එක දාල දෙන ස්ටයිරෆෝම් කෝප්පය තහනම් කළ යුතුයි කියන තැන. මේ හතර වර්ගය අද රටේ තහනම් කළා නම් රටක් විදියට අපට ගොඩාක් ඉස්සරහට යන්න පුළුවන්. පරිසරය රැක ගන්න ගමන් පිළිකා වැනි ලෙඩ රෝගවලට ගොදුරුවන අපේ මිනිස්සු අපිට රැක ගන්න පුළුවන්. එහෙම උණොත් කුණු කඳු ගොඩගැහෙන්නෙ නැහැ. මේ පණිවිඩය තරයේ කියනව අපි රජයට, රජය අපිට සහයෝගය දෙන්න මහජනතාව බේරගන්න කියල. ඒ වගේම මහජනතාව බේරෙනව කියන්නෙ ඉබේම පරිසරය බේරෙන තැනට එනව. අපි එදාට තවත් සතුටු වෙයි. මොකද මිහි අම්මව බේරගන්න අපිට එකතුවෙන්න පුළුවන් නිසා.
ඉතින් රජයට මේ බලකිරීම කරන අතරෙ රජයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න උනන්දු කරවන අතරෙ ඔබලාට දෙසරයක් හිතල බලන්න තියෙනව. ඒ තමා තමන් ගෙදරට ගේන කුණු අවම කරල.සමහර කුණු වලට එපා කියල. කොටින්ම අපි ඒ දවස්වල ඉඳන් කියපු දේ තමයි සපත්තු කුට්ටමක් ගත්තම පෙට්ටිය ඕනිද? පෙට්ටිය ආපහු කඩේ තියල එන්න මොකද සපත්තු දෙක එවෙලෙ ඉඳන් දානව ඕකට පෙට්ටියක් ඕනි නෑ. කේක් එකක් ගන්න තියෙනව නම් පෙට්ටිය කඩේ තියල එන්න. තමන්ට දවටනයක් දෙනව නම් තමන් ඒක එපා කියල තමන් ගෙනියන රෙදි මල්ලට දාගන්න. තමන් ගෙනියන සිලි බෑග් එකට දාගන්න. තමන්ගෙ බෑග් එකේ ශොපින් බෑග් කිහිපයක් තියාගෙන ඉන්න. ඒකත් එක්ක සාරි බෑග් එකක් තියාගන්න. ඉවතදාන සාරියකින් හදන බෑග් අපි හඳුන්වල දුන්න. පන් මල්ලක් තියාගන්න පොළේ යන්න. අද පොළේ යන කී දෙනෙක් පොළෙන් සිලි බෑග් අරගෙන එනවද? ගෙයක් ගානෙ ගිහින් එළවළු ටිකක් ඇඹරැල්ල ගෙඩියක් එකතු කරගෙන එන ඒ අහිංසක දුප්පත් වෙළෙන්දට කොයි තරම් වියදමක් යනවද ශොපින් බෑග් අමතරව සල්ලි දීල අරගෙන අපිට ඒක නොමිලේ දෙන්න වුණාම. ඇත්තටම මේ ව්‍යාපාර ලෝකය තුළ නොමිලේ කියල අපි හිතුවට ඒ මුදල අපගෙන් ඉබේම අය වෙනව. නමුත් ඒක අපිට දැනෙන්නෙ නැහැ. ඒ කෙසේ වෙතත් අපිට කරන්න පුළුවන් යුතුකම තමයි මේ දේවල් වලට එපා කියන එක. මොකද ගෙදරට කසළ ගෙනාවොත් විතරයි කසළ වැඩි වෙන්නෙ. කසළ ඉවත දාන්න වෙන්නෙ. තමන්ට පුළුවන් නම් මුගුණුවැන්න මිටිය තමන්ගෙ පවුලට සරිලන එකක් ගන්න, එහෙම නැතිව ලාබ නිසා ලොකු එකක් ගන්නෙ නැතිව ඉන්න, ලාබ නිසා කෙසෙල් ඇවරි දෙක තුනක් ගන්නෙ නැතිව ඉන්න, ලාබ නිසා හෝ නොමිලේ ලැබෙන නිසා වෙනත් ආහාර වැඩිපුරගන්නෙ නැතිව ඉන්න. කොම්පෝස්ට් ටික පවා අඩු කරගන්න පුළුවන් දිරා යන කුණු ප්‍රශ්නයක් වෙලා තියෙන නාගරීකරණය වුණු ගෙවල් වල. අඩි දෙක තුනක විතරක් ඉඩ තියෙන ගෙවල් වල. එවැනි ගෙවල් වල කුණු දැනටත් අපි අපේ Eco Garden එකට අරගන්නව කොම්පෝස්ට් හදන්න. අපේ අසල්වැසියො හතර පස් දෙනෙක් අපිට එයාලගෙ කුණු ගෙනත් දෙනව. මොකද නගර සභාව ගෙනියන්නෙ නෑ කියල. මං අහනව ඇයි ඕගොල්ලන්ට මේක කරගන්න බැරි කියල. එතකොට කියනව අපි අලුතෙන් හදපු ගෙවල්, අපිට මේව ගඳයි, මේව අපිට තියන්න තැනක් නෑ, පණුවො එනව මැස්සො එනව කියල. නිකමට හිතන්න තමන්ගෙ කසළ මැස්සෙක් එන පණුවෙක් එන අපුල කසළ නම් ඒ කසළ නගර සභාවෙ කුණු එකතු කරන මනුස්සයට කොයිතරම් අපුලක් ඇද්ද? අපි එහෙම හිතල අපි අපේ ජරාව අපිම කළමණාකරණය කරගන්න ඕනි. හැබැයි ඇත්තටම අපිට මේක ජරාව නෙමේ. මේක තමයි මිහි මවට ආපසු දිය යුතු සම්පත. අපි කන බොන දේ පවා, අපේ මුත්‍රා අසූචි පවා, හරි විදිහට දිරල යන්න අපි මේ මහපොළොවට දෙන්න ඕනි. ඒවට කෘමි නාශක හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කළේ නැතිනම් මේ මිහිමවට පුළුවන් අපේ අසූචි අපේ මුත්‍රා අපේ කසළ ටික නැවත පසක් විදියට නිර්මාණය කරල නීරෝගී පසක් කරන්න. නමුත් දැන් අද කාළෙ ලෙඩ වෙලා ඉන්න නාගරික ජනතාව ගන්න antibiotics එහෙමත් නැතිනම් ප්‍රති ජීවක ඖෂධ නිසාම අපි එළියට දාන මළ පහ මුත්‍රා පවා දූෂණය වෙලා ඉවරයි. ඒ දේවල් නැවත පසට එකතු වෙනකොට අනිවාර්යෙන්ම පසෙන් මේව අපට ආහාර හරහා ලැබෙනව. ඒ වගේම කෘමි නාශක, රසායනික ද්‍රව්‍ය ගහල වවපු එළවළු පලතුරු ටික කොම්පෝස්ට් වෙලා එනකොට ඒවයේ විස අපට ආපහු ලැබෙනව. නමුත් කරන්න දෙයක් නැහැ. අපට පුළුවන් අඩුම තරමෙ ඒ ගැන අමතක කරල අපට මේ දිරා යන කුණු වලින් පසක් හදල නැවත ගස් ටිකට දාන්න, කොටින්ම බැල්කනි එකේ පවා තමන්ට අවශ්‍ය කරපිංච ගහ රම්පෙ ගහ හදාගන්න පුළුවන්. මෙවැනි විප්ලවයකට අප යා යුතුයි. මේ විප්ලවය කලොත් විතරයි අපිට කසළ කඳු ගොඩගැහෙන එක නවත්වන්න පුළුවන් වෙන්නෙ.
ඒ නිසා තමන් අවබෝධාත්මක පරිභෝජනයකට යන්න. තමන්ගෙ යුතුකම් ඉටු කරන්න මේ රටට. නගර සභාවට බැන බැන ඉන්නවට වඩා තමන් නගර සභාවට කසළ දෙන්නෙ නැති කෙනෙක් වෙන්න උත්සහ කරන්න පුළුවන් කියන එක අපි මතක් කරන්න කැමතියි. ගොඩක් වෙලාවට නගර සභාවෙ මිනිස්සු ඇවිත් අපේ ගේට්ටුවට ගහල කසළ ඉල්ලනව. එතකොට අපි කියනව අපිට දෙන්න කසළ නෑ කියල. හිතාගන්න බෑ කොහොමද එහෙම කසළ නැතිව ඉන්නෙ කියල. එවැනි තත්වයක් අපි ඇති කළා. දැනට අවුරුදු 17ක් තිස්සෙ අපි මේ ක්‍රියාමාර්ගය කරගෙන යනව. මේක කරන්න බැරි නැහැ. කරන්න පුළුවන්. අවශ්‍ය අපට හදවතක් තිබීම පමණයි. මේ හදවත අපිට මොළෙත් එක්ක එකතු කලොත් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ නිසා අපි විසඳුම් දීලයි තියෙන්නෙ. ඒ විසඳුම් එකින් එක ඔබලාට දැනගන්න දැනුවත් කරන්න අපි දැන් මහාපරිමාණයෙන් කටයුතු කරගෙන යනව. එතකන් ඔබ නැවත හිතන්න, කසළ වලට එපා කියන්න. කසළ පැතිරෙන එක අඩු කරන්න උත්සහ ගත්තොත් තමන්ගෙ යුතුකම මේ මිහිමවට කළා වෙනව. එතකොට තවත් ජීවිත ගණනාවක් මරා දමන මිනී මරන පිරිසක් බවට අපි පත්වෙන්නෙ නෑ කියන එක අපි මතක් කරන්න කැමතියි.
-කාන්චනා වීරකෝන්-
-කාන්චනා වීරකෝන්-
No comments:
Post a Comment