අපේ මෙත්තා උයනේ ළිං කටේ හදපු සන්නාලියා ගෙ නිවහන ගැන මම ලියපු කතන්දරේ ඔබට මතක ඇති නේ. ඔන්න ඉතින් මම දැන් කියන්න යන්නේ ඒ කතාවෙ දෙවෙනි කොටස. දෙසැම්බර් මාසේ ළිඳ ඇතුලේ කොට දිඹුල ගහේ කොළ එකතු කරලා බට්ටිච්චි ගෙදරක් හදලා තියෙන බව දැන ගත්තහම පසිනිටයි සෝමපාලටයි ඒ ගැන සැලකිල්ලෙන් ඉන්න කියලා මම දිල්ලියට ආවා. එදා ඉඳන් ඔෆිස් එකට කතා කරන හැම දවසකම වගේ මේ ගෙදර ගැනත් අහන්න මම අමතක කළේ නෑ. බට්ටිච්චි අම්මයි, තාත්තයි කූඩුවට යන එන බව ඒ ගොල්ලන් මට කිව්වා. එයාලා හොඳින් ඉන්න බව ඒ නිසා අපි දැනගත්තා. පෙබරවාරි මාසේ මම ආයෙත් ලංකාවට ගියා. ගිය ගමන්ම මම කරේ ලිඳ ඇතුලට එබිලා බට්ටිච්චි ගෙදර තත්ත්වය හොයා බලන එක. අම්මයි තාත්තයි හෝ ගාලා කෑම ගේනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් බබාලා ඉන්නවනෙ. මං ආයෙත් බට්ටිචි අම්මටයි තාත්තටයි කිව්වා බබාලා ඉගිලෙන්න පටන් ගන්නකොට ලිදටනම් වට්ට ගන්න එපා; පරිස්සමෙන් කරන දෙයක් කරන්න කියලා.
පෙබරවාරි 19 වැනිදා උදේ මම සුපුරුදු පරිදි අපේ මෙත්තා උයනේ ඉන්නවා. මට කෝල් එකක් ආවා. ඒකට කතා කරන ගමන් එකපාරටම මට ඇහුනෙ බට්ටිච්චි නාදේ. ඒ එක්කම ලේන් හාමි කෙනෙකුත් කලබලෙන් කෑගහනව. සද්දෙ එන දිහා බලනකොට අපොයි දෙයියනේ!!! ලිං ගැට්ට උඩ ඇටිකුකුල් හාමිලා එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්ම. මම දැන ගත්තා බට්ටිචි ගෙදරට අකරතැබ්බයක් කියලා. Phone එකේ ඉන්න ගමන්ම මම ළිඳ ගාවට දිව්වා. අනේ අපොයි බට්ටිච්චි ගෙදර තිබ්බ අත්ත තවත් ළිඳ ඇතුළට පාත්වෙලා. ටිකක් විමසිල්ලෙන් බලනකොට මට ඇහෙනවා පුංචි පැංචෙක් ගෙ සද්දයක්. ළිඳ ඇතුලෙන් එන්නේ. හරියට පේන්නෙත් නෑ. මම තාමත් කෝල් එකේ. එකපාරටම මම කෑගහනව; අයියෝ පැටියා වතුරේ… පැටියා වතුරේ…කියලා. මගෙත් එක්ක phone එකේ එහා පැත්තෙ හිටපු කෙනාට මේ කිසි දෙයක් හිතාගන්න බෑ. එයා අහනව මොකද මොකද?? කියලා. මම කියනවා..බට්ටිචි ගෙදරට ඇටෑක් කරලා පැටියෙක් වතුරට වැටිලා, මම දැන් ලිඳට බහින්න ඕනේ එයාව බේරා ගන්න කියලා. මගේ යාළුවා කලබල වෙලා මම දැන් ළිඳට පනියි කියලා. එයා කියනවා ඔයා දැන් කලබල වෙන්න එපා. පොඩ්ඩක් වට පිට බලන්න කවුරුහරි උදව්වකට හොයා ගන්න පුළුවන්ද කියලා. ඔයා නම් ලිඳට පනින්න එපා කියලා. කොහොම හරි ඒ උපදෙස් අරගෙන මම phone call එක cut කරලා උදව් හොයාගන්න විදිහක් ගැන හිතුවා. එහෙට මෙහෙට දුවන ගමන් පසිනිට කිව්වා කඹයක් ගේන්න කියලා. කරදරයක් උනහම හැමදාම මුලින්ම මතක් වෙන අසල් වැසියා තමයි ජයන්ති. හොඳ වෙලාවට ජානක ගෙදර හිටිය. “අනේ ජානක කුරුලු පැටියෙක් ළිදට වැටිලා ඉක්මනට එන්නකෝ” කලබල වෙලා එලියට ආපු ජානක “හා හා මං එන්නම් කකා හිටියේ පොඩ්ඩක් ඉන්න අත හෝදගෙන එන්නම් කියලා කියන අතරේ අපේ අයියා බාල්දියක් අරගෙන ආවා ලිඳට දාලා කුරුළු පැටියව ගන්න. හැබැයි මේ කාටවත් කුරුලු පැටියා පේන්නෙ නැහැ. සද්දේ විතරයි. මෙයාලා උකුස්සෙක් තරම් ලොකු කුරුළු පැටියෙක් හොයනවා වගේ තමයි බලන්නේ. අඟල් දෙකක් වත් නැති මේ කුරුලු පැටියා මට විතරයි පේන්නේ. අනිත් ඔක්කොම අහනවා කෝ කෝ කුරුලු පැටියා කෝ කුරුලු පැටියා කියලා. මම කෑගහනව බාල්දිය දාන්න එපා කුරුළු පැටියා ගිලෙයි, ලිදට බහින්න අතින් ගන්න කියලා. ඉස්සරහා ගෙදරට කෑගහලා ගෙනාවා ඉනිමගක්. කිසිම දේකට නෑ බෑ කියන ජානක කිව්ව හරි දාමු ඉනිමග ලිඳට මම බහින්නම් ඉනිමග උස මදි නිසා කඹේ බැන්දා එකේ. කඹය අල්ලාගත්තා පසිනියි මගේ අයියයි. ලිඳේ පතුලට ඉනිමග හිර කරා. දැන් ජානක බොහොම අමාරුවෙන් කමාන්ඩෝ කෙනෙක් වගේ ලිඳ ඇතුලට බහිනවා.ඒ අතරේ අහනව කෝ කුරුළු පැටියෙක් පේන්න නෑනේ” ඔයා බහින්න පහලට කුරුලු පැටියා වතුරේ ඉන්නේ. මම කියනවා. සද්දෙ නං එනවා තමා ඒ උනාට පේන්නේ නෑ. මේ අතරෙ කුරුලු පැටියා ව හොයනව කුරුලු අම්මා උඩ තියෙන බලුදං ගහට වෙලා එයාගේ දුක කියනවා. හැම තත්පරයක්ම වටිනවා ජිවිතයක් වෙනුවෙන්…..
කොහොම හරි අමාරුවෙන් ජානක ඉණිමගේ අන්තිම පඩියටත් බැස්සා. “කුරුලු පැටියෙක් නම් පේන්න පරඬැල් ගොඩක් නම් තියෙනවා” ජානක කියනවා. “ ආ හරි හරි ඒ පරඬැල් ගොඩේ තමා කුරුලු පැටියා ඉන්නෙ, ගන්න.. ගන්න..මම කියනවා. අපොයි මෙච්චර චුටි කුරුළු පැටියෙක්ව පෙනුනේ කොහොමද? කුරුළු පැටියව අතින් අරගෙන බාල්දියට දාන ගමන් ජානක කියනවා. පැටියා උඩට ආවා. පිහාටුවත් හරියට ඇවිත් නැති පැටිය දිහා බලන ගමන් මම හිතනවා. ආයෙත් මේ කූඩුව ඔතන තිබ්බොත් අනතුර වැඩියි. අපි කුඩුවේ අත්ත කපලා වෙන තැනක බඳිමු. ජානක බොහොම අමාරුවෙන් උඩට එන අතරේ මං ආයිත් එයාට වැඩක් දෙනවා. ජානක දැන් කුරුලු පැටියා කූඩුවෙන් තියන්න බෑ ඔය කූඩුවේ අත්ත කපලා දෙන්න. උඩට දුන්න කුරුලු කූඩුව ඇතුලේ තව පැටියෙක්. බබාලා දෙන්නාවම කූඩුවට දාලා කූඩුවත් එක්ක කොටදිඹුලා අත්ත බලුදං ගහේ බැන්දා . ඊට කලින් ලිඳෙන් ගොඩට ආපු ජානකට කුරුළු පැටියව පෙන්නුවා. ජානකගේ මූනෙ මල් හිනා මල් හතයි.
මෙන්න බොලේ මෙච්චර අමාරුවෙන් කුරුළු පැටියව බේරගත්ත ජානක අපිට පින් දෙනවා….අනේ ඔයාලට හරිම පින් මටත් මේ හොඳ වැඩේට සහභාගී වෙන්න කතා කරාට කියලා. අපි හැමෝටම සතුටුයි බට්ටිච්චා බේරා ගැනීමේ මහා මෙහෙවුම සාර්ථක උන එක ගැන. උදේ 9.35ට පටන් ගත්ත කුරුළු පැටියා බේරාගැනීමේ මෙහෙයුම නමයයි 9.55 වෙනකොට අවසන් වුණා. සියලු දෙනා සතුටින් විසිර ගියා!!
එතකොට තමයි මට මතක් උනේ මම හිටපු කෝල් එක. ආපහු කෝල් එකක් අරගෙන මං මගේ යාළුවට කිව්වා කුරුළු පැටියාව බේරාගත්තා කියලා. එකපාරටම එයා කියපි…ඇති යාන්තම් ඔයා ළිඳට පැන්නෙ නෑනේ නේද? මම බයවෙලා හිටියේ ඔයාට තිබ්බ කලබලේට ඔයා ළිඳට පනින්න ඇති කියලා. චෑ ..චෑ …වස ලැජ්ජාවයි….මම ඉතින් කලබල උනා තමයි ඇයි ඉතින් ජීවිතයක්නේ…සෙල්ලංද ??
හොඳ වෙලාවට අපේ ළිද අඩි දාහතරයි ගැඹුර. හදිස්සියක් වුණත් බැහැ ගන්න නම් බැරි නෑ. කොහොම නමුත් ආයෙනම් ලිඳ ඇතුළේ කොටදිඹුල ගහේ කූඩු හදන්න එපා කියලා බට්ටිචි හාමිලාට අවවාද කළා. බේරලා දුන්න කුරුලු කූඩුවට අම්මයි තාත්තයි හරි හරියට කෑම අරන් යනවා බල බලා අපි අපේ වැඩ කරන්න පටන් ගත්තා. අර ඇටිකුකුළු හාමිලා දෙන්න නම් මගහැරුනු ගොදුර ගැන හිත හිතා මටත් බැන බැන ඇති කියලා මම තනියම හිතුවා. මොනව කරන්නද පණ පිටින් කුරුලු පැටියෙක් අපේ ළිඳේ වැටිලා ඉන්නකොට අහක බලාගෙන ඉන්නයැ? ඒක නිසා ඉතිං අපි බේරගත්තා. තරහ වෙන්න එපා ඇටි කුකුළු හාමිලා තව ඔය ඕනි තරම් කෑම තියෙන්නෙ….